අක්මීමන සහල් වැඩි මිලට අලෙවි කළ වෙළෙඳසැලකට රුපියල් ලක්ෂ 5ක දඩයක්

රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිල (MRP) ඉක්මවා ආනයනික කීරි සම්බා සහල් අලෙවි කිරීමේ වරදට අක්මීමන ප්‍රදේශයේ සුබසාධන වෙළෙඳසැලකට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 500,000ක දඩයක් නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) සඳහන් කළේ, එහි දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් ජූලි 17 වන දින සිදුකළ වැටලීමකදී මෙම වෙළෙඳසැලේ සහල් නියමිත මිල ඉක්මවා අලෙවි කරන බව අනාවරණය වූ බවයි.

එහිදී කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 270 බැගින් අලෙවි කර තිබූ අතර, රජයේ ගැසට් නිවේදනය මඟින් නියම කර ඇති උපරිම සිල්ලර මිල කිලෝග්‍රෑමයකට රුපියල් 255ක් විය.

පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ විධිවිධාන යටතේ නීතිමය පියවර ගෙන ඇති අතර, නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරු වරද පිළිගෙන තිබේ. ඒ අනුව ජූලි 23 වන දින අධිකරණය විසින් රුපියල් 500,000ක දඩයක් නියම කර ඇත.

නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්, එවැනි සිද්ධීන් වාර්තා කරන ලෙසත් පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

පැමිණිලි 1977 දුරකථන අංකය හරහා ඉදිරිපත් කළ හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *