LK reports news sinhala

හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකෙරේ

හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කර ඇත. මුස්ලිම් අන්තවාදීන් විසින් අප්‍රේල් 21වැනිදා එල්ල කළ පාස්කු ප්‍රහාරයෙන් පසු අඛණ්ඩව මාස 4ක් හදිසි නීතිය පනවා තිබිණි.

ඒ අනුව හමුදාව හා පොලිසිය එක්ව ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීම, සෝදිසි කිරීම කළ හැකිව තිබූ අතර යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මින් ඉදිරියට හදිසි නීතිය ක්‍රියාත්මක නොකෙරුණද සන්නද්ධ හමුදා කැඳවා මහජන ආරක්ෂාව තර කර ඇති බවයි.

හදිසි නීතිය මුළු රටටම හෝ එක් ප්‍රදේශයකට පමණක් බලපැවැත්වෙන පරිදි පැනවිය හැකියි. මෙවැනි අවස්ථාවකදී යම් පුද්ගලයකු හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු අවශ්‍ය වන්නේ නැත. ආඥා පනතේ 18වන වගන්තිය ප්‍රකාරව සාධාරණ සැකය මත එවැනි පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරියකුට අවසර ඇති අතර ආඥා පනතේ දෙවන පරිච්ඡේදයේ පස්වන වගන්තිය ප්‍රකාරව මහජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීම, මහජනතාව අතර සාමකාමී බව තහවුරු කිරීම හදිසි නීතිය මගින් සිදුවේ. ආඥා පනතේ දෙවන වගන්තියට අනුව පාර්ලිමේන්තුව විසින් සම්මත කරගන්නා ලදුව මසක කාලයක් දක්වා හදිසි නීති රෙගුලාසි පැනවිය හැකි අතර, මාසයක කාලය ඉක්ම යත්ම (අවශ්‍යතාවය මත) එම රෙගුලාසිය නැවත බලාත්මක කළ යුතු වේ.

මහජන ආරක්ෂක පනතේ සත්වන වගන්තිය පවසන ආකාරයට රට තුළ හදිසි නීති රෙගුලාසි පැනවූ පසු එම කාලය තුළ රට තුළ පවත්නා අනෙකුත් නීති හා රෙගුලාසි වලට ඉහළින් බලපැවැත්වේ. එමෙන්ම කිසිදු හදිසි නීති රෙගුලාසියක් හෝ හදිසි නීතිය යටතේ පනවනු ලබන වෙනත් කිසිදු නීතියක් හෝ නියෝගයක් රටේ කිසිදු අධිකරණයක් හරහා ප්‍රශ්නගත කිරීමේ හැකියාවද මහජනතාවට නොමැති බව අටවන වගන්තිය අනුව ප්‍රකාශ වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *