2025 සහ 2026 අයවැය මගින් දක්වා ඇති යෝජිත බදු ප්‍රතිපත්ති වෙනස්කම්වලට අනුකූලව 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීමට පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
විශේෂයෙන්ම අනේවාසික සේවා සපයන්නන් විසින් ඉලෙක්ට්‍රොනික වේදිකා හරහා සපයනු ලබන සේවාවන් සඳහා එකතු කළ අගය මත බද්ද ක්‍රියාත්මක කිරීම 2026 ජූලි 1 දක්වා කල් දැමීම මෙම සංශෝධනවලට ඇතුළත් වේ.
නීති කෙටුම්පත් සම්පාදකයා විසින් සංශෝධන පනත් කෙටුම්පත සකස් කර ඇති අතර, ඊට නීතිපතිවරයාගේ අවසරය ලැබී ඇත.
ඒ අනුව එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.


