යාපනයේ නගරාධිපති රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැරේ

යාපනය මහනගර සභාවේ පරිසර ආරක්ෂණ රාජකාරී සඳහා බඳවාගත් බව පැවසෙන සේවකයන්ට ලබාදී තිබූ නිල ඇඳුමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවටගත් යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමට යාපනය මහේස්ත්‍රාත් පීටර් පෝල් නියෝග කර තිබෙනවා.

යාපනය මහනගර සභාව මීට දින කිහිපයකට පෙර පුද්ගලයන් පස් දෙනෙකු තාවකාලික පදනම මත සේවයට බඳවාගෙන තිබූ අතර  ඔවුන්ට මෙම විශේෂ නිල ඇඳුම ලබා දී තිබු අතර, යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මීට පෙර පවසා තිබුණේ යාපනය නගරය අලංකාරව හා පිරිසිදුව තබාගැනීම හා ඒ පිළිබඳ රජකාරී සඳහා මොවුන් බඳවා ගත් බටයි.  කෙසේ වෙතත් පරිසර රාජකාරී සඳහා බඳවාගත් පැවසෙන, පොලිස් නිලධාරීන්ද නොවන මෙම පිරිස නගරයේ රථ වාහන හසුරුවන ආකාරය ද පසුව දැක ගැනීමට හැකි වුණා.

එල්.ටී.ටී.ඊ. පොලීසිය විසින් භාවිත කරන ලද නිල ඇඳුමට සමානව සෑදූ මෙම නිල ඇඳුමේ  කිසිදු යටි අරමුණක් නොමැති බවට යාපනය නගරාධිපතිවරයා පවසා සිටියි.

එහෙත් මෙම නිල ඇඳුම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ යාපනය පොලීසිය යාපනයේ නාගරික බලධාරීන් ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ ද සටහන්කර ගෙන තිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ යාපනය නගරාධිපතිවරයා අත්අඩංගුවට ගනු ලැබුණු බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *