LK reports news sinhala

මේ සිංහල අපගෙ රටයි – මේ අන්තිම අවස්ථාවයි

ශ්‍රී ලංකාවේ 8වැනි ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට තවත් ඇත්තේ දින 50ක පමණ කාලයක් පමණි. ඒ අනුව සමස්ත ශ්‍රී ලාංකකියන්ටම තම ඉදිරි අනාගතය සම්බන්ධයෙන් ඍජු මෙන්ම ඉතා වැදගත් තීන්දුවක් ගැනීමට කාලය ළංවෙමින් පවතී. මේ ගෙවී යමින් පවතින්නේ ශ්‍රි ලංකාව රටක් වශයෙනුත් සිංහලයන් ජාතියක් වශයෙනුත් අසරණ වූ කාලයකි. එබැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී සමස්ත රටේ විධායක බලය ලබාදිය යුතු සුදුසුම පුද්ගලයා තෝරාගැනීමට සිංහලයින් මෙන්ම අනෙකුත් ජාතීන්ද විචක්ෂණශීලී විය යුතුමය.

ජනාධිපතිවරණය සුපුරුදු පරිදි බල කේන්ද්‍රීය අපේක්ෂකයන් දෙදෙනකු මත රඳා පවතින අයුරක් දක්නට ලැබේ. එබැවින් තුන්වැනි අපේක්ෂකයකුට ඉඩක් ලැබීම ඉතා විරලය. ඒ අනුව විකල්ප සොයමින් තුන්වැන්නෙක් හෝ දියසෙන් කුමාරයෙක් පහළ වනතුරු කල්මැරීම හෝ ඒ වෙනුවෙන් තම වටිනා ඡන්දය අපතේ යැවීම ජාතියක් ලෙස අප අපටම මෙන්ම අනාගත පරපුරටද කරනා මහත්වූ වරදක් වනු නොඅනුමානය.

ශ්‍රී ලාංකිකයන් ලෙස පළමුව සලකා බැලූවිට විදේශයන්ගෙන් එල්ලවන බලපෑම් අතිශය දුරදක්නා නුවණකින් විමසා බැලිය යුතු කාලයක් ලෙස මේ වකවානුව සඳහන් කළ හැකිය. ඒ මක්නිසාද යත් 2009 වසරේදී සමස්ත රටක් වශයෙන් ලබාගත් යුද ජයග්‍රහණයට බටහිර බලවේග සහ කොටි ඩයස්පෝරාව ජාත්‍යන්තරමය වශයෙන් ශ්‍රී ලංකාවට බලපෑම් කරනා බව නොරහසකි. විවිධ සම්බාධක පැනවීමේ සිටන් අභ්‍යන්තර පාලනයට කරනා ඍජු බලපෑම් දැඩිය. ඊට හොඳම උදාහරණය පසුගියදා යුද හමුදාපති ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීමට එරෙහිව ඇමරිකාව ප්‍රමුඛ විදේශ නියෝජිතයින් කළ බලපෑමයි. ඊට අමතරව මානව හිමිකම් ඉදිරියට දමමින් ශ්‍රී ලංකාවේ යුද විරුවන් පෝරකයට දැක්කීමේ වුවමනාව මෙරට ඇතැමුන්ට ද ඇති අතර ඒ සඳහා බටහිර බලවේගයන්ගේ පිහිට පැතීමට ඔවුහු කැස කවමින් සිටිති. ඒ අනුව අනාගත පාලකයා ඍජු විදේශ බලපෑම්වලට නොනැමෙන ජාතියක් ලෙස කොන්ද කෙලින් තබාගෙන කටයුතු කළ හැකි ආකාරයේ නායකත්වයක් සපයන්නකු විය යුතුමය. එසේ නොවන්නට ඉරාකය, ලිබියාව ආදී දේශයන්ට අත්වූ ඉරණම ශ්‍රී ලංකාවටද අත්වනු නොඅනුමානය.

තවත් වැදගත් කරුණක් වන්නේ සිංහල බෞද්ධයන්ට සිදුවන කෙණෙහිලිකම්ය. ඒ අන්‍ය ජාතීන්ටත් වඩා අන්තවාදී ඇතැමුන්ගේ ක්‍රියාකාරකම්ය. කොටි අත් තවමත් අතපොවමින් සිටින බවට මනාව පැහැදිලි වූයේ පසුගියදා මුලතිව් ගුරුකන්ද රජමහා විහාරාධිපති හිමියන්ගේ දේහය ආදාහනයේදී උසාවි නියෝග ලබාගනිමින් අන්තවාදීන් ක්‍රියා කළ අයුරු නිසාය. ඊට රජයෙන්ද කිසිදු විරෝධයක් නොවූ අතර අන්තවාදීන් හා එක්ව දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද අපේක්ෂාවෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම පමණක් සිදුවිය. මෙරට තුළදීම බෞද්ධයින් අසරණ වී ඇත්තේ ඒ ආකාරයෙනි. එමෙන්ම පසුගිය සමයේ භික්ෂූන් වහන්සේලා සිරගත කිරීම, පින් කැටවලට සීල් තැබීම, පන්සලේ අලි තබාගෙන සිටියාට නඩු දැමීම ආදී කී නොකී කරුණු රාශියක් නිසා සමස්ත ජාතියම කලකිරුණු ස්වභාවයකට පත්විය. ජාතික ගීය දෙමළ බසින් කියමින් සුළු ජාතීන් සංතෘප්ත කිරීමට මෙන්ම උතුරේ ඉඩම් බෙදා දෙමින් ඔවුන් තව තවත් නගා සිටුවීමට ක්‍රියා කළ රජය කොටි ත්‍රස්තවාදීන්ට සමාව දී වන්දිද ලබාදෙද්දී රණවිරුවා මහ පාරට ඇද දැමීමට ක්‍රියා කළේය. ඊනියා සංහිඳියාව නාමයෙන් සුළු ජාතීන්ගේ ඡන්දවලට කෙළ හැළූ ආණ්ඩුව සිංහලයා පාගා පොඩි කර දැමීමට ක්‍රියා කළේය. ඒ ක්‍රියාවෙන් පමණක් නොව වචනවලින්ද රළු පරළු ලෙස බෞද්ධයා ජාතිවාදීන් බවට හංවඩු ගසමින්ය. මංගල සමරවීර වැනි ඇමැතිවරුන් එළිපිටම මෙය සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවන බව කියමින් නිරාගමික රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ලොව ඉදිරියට ගෙන යාමට පිඹුරුපත් සැකසූහ. බුද්ධි අංශ අඩපණ කරමින් පසුගිය සමයේ ඇතිවූ මුස්ලිම් අන්තවාදී ක්‍රියාකාරකම් නොදුටුවාක් මෙන් සිටීම හේතුවෙන් අප්‍රේල් 21වැනිදා සිදුවූ ව්‍යසනයට සම්පූර්ණ වගකීමෙන් ආණ්ඩුවට මිදිය නොහැකි විය. මුස්ලිම් අන්තවාදීන් මඩකලපුව, අකුරණ, කාත්තන්කුඩිය ආදී ප්‍රදේශ පුංචි අරාබි බවට පත්කරද්දී නෑසු කන්ව සිටි නීතිය ක්‍රියාත්මක කරන්නන් බෞද්ධයන්ට විරුද්ධව අවි ඔසවා සිටියේය. ඒ සම්බන්ධයෙන් කථාකළ බෞද්ධ භික්ෂූන්ට අත්වූ ඉරණම ඛේදජනකය.

රි‍්ෂාඩ් බදියුදීන්, අසාද් සාලි වැනි අන්තවාදීන්ගේ අන්තවාදී ක්‍රියාකාරකම් එළිපිටම සිදුවෙද්දී ඔවුන්ගේ මැති ඇමැති පට්ටම් තවත් වැඩිවූවා මිස ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ නැත. එමෙන්ම සංස්කෘතික වශයෙන් ජාතියට ආගමට පහර ගැසූ රජය සමලිංගික පනත් ආදිය ගෙනඒමට තැත් කරමින් සංස්කෘතික හෝදාපාළුවකට මෙරට පත්කිරීමට මාන බැලීය.

නැගෙනහිරදී නාවුක හමුදා නිලධාරියකුට අන්තවාදී මුස්ලිම් නායකයකුගෙන් බැනුම් අසන්නට සැලැස්වූ ආණ්ඩුව ඊට විරුද්ධව හඬ නැගූවන් නිහඬ කරවීය. සමාජයේ නැගී ආ සිංහල බෞද්ධයන් වෙනුවෙන් හඬ නගන්නන් ජාතිවාදීන් ලෙස හංවඩු ගසමින් ඔවුන් සිපිරිගෙට යැවීමට නීතිරීති නැමුවේය. නමුත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධවූවන් ඇප ලබාදීමට තරම් කාරුණික විය. මේ සියල්ල ලෙස මැදිහත් ජාතියක් ලෙස සිංහල බෞද්ධයින් නිහඬව බලා සිටියා දැන් ඇතිය. ඒ උපරිම ඉවසීම මේ මොහොතේ පුපුරා යාමට ඉතා ආසන්නය. ඒ අනුව ඒ පුපුරා යාම සිය ඡන්දයෙන් ප්‍රකාශ කරනු විනා මුග්ධ ලෙස මහපාරේ විසඳා ගැනීමට තරම් සිංහලයෝ අනුවණයන් නොවනු ඇත. ඒ අනුව මෙතෙක් වසර කිහිපයක් පුරා විඳ දරාගත් මහ ජාතියේ අසරණකම මහා පවුරක් ලෙස ඉදිකරන්නට කටයුතු කළ යුතුය. ඒ සඳහා ඇති අගනාම සහ අවසානම අවස්ථාව එළැඹෙන ජනාධිපති වරණයයි. ඊනියා සංහිඳියාව නාමයෙන් සුළු ජාතීන් පිරිවරාගනිමින් අපේක්ෂකත්වය ලබාගන්නා පිරිස්වල යටි අරමුණ විධායක ජනපති ධූරය අහෝසි කරමින් පවතින් නිවට නියාළු පාලනයන්ට යළිත් බලය ලබාදීමයි.

ඒ අනුව මේ ගෙවීයමින් පවතින තප්පරය වුවද සිංහලයාට නැගී සිටීමට ප්‍රයෝජනවත්ය. ඒ සඳහා වෙර වීරිය කිරීමට ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩු සති ගණනකි. දිනවලින් ගත්විට ඉතා අඩු සංඛ්‍යාවකි. මෙවර කතිරය ගැසීමේදී සිදුවන වරද තවත් වසර ගණනාවකට නිවැරදි කරගැනීමට නොහැකිවනු ඇත. ඇතැම්විට එය සිංහල ජාතියේත් සමස්ත ලාංකේය බුද්ධිමත් ජන සමාජයේත් අවසානය වීමද වැළැක්විය නොහැක්කක් බවට පත්වනු ඇත. අනගාරික ධර්මපාලතුමන් එදා කීවාක් මෙන් සිංහලයාට කළගුණ මතක නැත. එබැවින් සමස්ත ජාතියක් ලෙස සිංහයන්ගේ නැගිටීම අත්‍යවශ්‍යම මොහොතක ඒ සියලු දුර්ගුණයන් වනසා සිව්හෙළයම එකමුතු විය යුතුය. එවිට අන්තවාදීන්ට මෙන්ම අන්තවාදීන්ගේ ඡන්දවලට වශීවුණු සිංහලයන්ටද පාඩමක් ඉගැන්විය හැකිවනු ඇත. එසේම බුද්ධිමත් ලාංකිකයන් මේ මොහොතේ ගන්නා තීරණය මත අනෙකුත් ජාතීන්ගේද ආගමිකයන්ගේද පැවැත්ම ස්ථිරවනු ඇත. මක්නිසාද යත් බෞද්ධයන්ට උපතින්ම හුරුවූ ඉවසීමේ හා කාරුණික ගුණයන්ගෙන් පොහොසත් සමාජ වටපිටාව හා සාරධර්ම පද්ධතිය නිසාය. ඒ තුළ තවත් ජාතියකට කිසිදු බාධාවකින් තොරව ජීවත්විය හැකිය. ඒ සියල්ලටම රටට ඍජු නායකත්වයක් අවශ්‍යයය. දියාරු නොවන තීන්දු තීරණ ගතහැකි පාලකයකු අවශ්‍යයය. සිංහල බෞද්ධයන්ගේ වටිනාකම දන්නා ජනාධිපති අපේක්ෂකයකු දිනවිය යුතුය. ඒ මේ සිංහල අපගෙ රටයි කීමට අපට ඇති අවසානම අවස්ථාව වන නිසාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *