මහා බ්‍රිතාන්‍යය, දේශගුණ සෞභාග්‍ය සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සහාය දක්වයි

“දේශගුණික සෞභාග්‍ය සැලැස්ම” ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය තාක්ෂණික සහ ප්‍රායෝගික සහය ලබාදීමට මහා බ්‍රිතාන්‍යය කැමැත්ත පළ කර තිබේ.

ශ්‍රී ලංකාවේ මහා බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය මහ කොමසාරිස් Lisa Whanstall මහත්මිය පැවසුවේ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගන්නා උත්සාහය මහා බ්‍රිතාන්‍යය අගය කරන බවත් ඉදිරියේදී අවශ්‍ය තාක්ෂණික සහ න්‍යායාත්මක සහය ලබාදීමට කටයුතු කරන බවත්ය.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා සහ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා අතර අද (07) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙම අදහස් පළ විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ඉදිකිරීමට සැලසුම් කර ඇති දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය සඳහා අවශ්‍ය සහය ලබා දෙන බවද Whanstall මහත්මිය ප්‍රකාශ කළාය.

තවද, පුනර්ජනනීය බලශක්තිය සඳහා වන ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙල පිළිබඳව ප්‍රශංසා කළ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා එය රටේ අනාගතය සඳහා සැලසුම් සහගත පියවරක් බවද පෙන්වා දුන්නේය.

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි වැඩසටහන් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළ රුවන් විජයවර්ධන මහතා, දේශගුණික විපර්යාස පිළිබඳ පනත නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළේය.

මීට අමතරව කලාපයේ දේශගුණික විපර්යාස පිළිබඳ සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාව තුළ දේශගුණික විපර්යාස කාර්යාලයක් ස්ථාපිත කරන බවත්, සිදුවිය හැකි කාලගුණික විපර්යාසවලට විසඳුම් සෙවීමට අවශ්‍ය විසඳුම් සකස් කරන බවත් විජේවර්ධන මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි හරිත හයිඩ්‍රජන් බලශක්තිය කෙරෙහි රජය මේ වන විටත් අවධානය යොමු කර ඇති බවත්, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය සඳහා ඇති හැකියාව තවදුරටත් වර්ධනය කිරීමට රජය සැලසුම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

එළැඹෙන ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දින සැමරුම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

බි‍්‍රතාන්‍ය රජයේ සමෘද්ධි සමූහ ව්‍යාපාරයේ ප‍්‍රධානී ඇන්ඩෲ ප‍්‍රයිස්, ජනාධිපති සම්බන්ධීකරණ අධ්‍යක්ෂ සජන සූරියආරච්චි යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *