බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ඇති ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය කිහිපය තුළ ප්රචණ්ඩ සුළි කුණාටුවක් (Severe Cyclonic Storm) දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතින බැවින්, අදාළ මුහුදු කලාපය සඳහා ‘රතු නිවේදනයක්’ (Red Warning) නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති මෙම පද්ධතිය නොවැම්බර් 01 වැනිදා අලුයම 5.30 වන විට ගැඹුරු පීඩන අවපාතයක් (Deep Depression) බවට පත්ව ඇති අතර, එය මුලින් සුළි කුණාටුවක් බවටත්, අනතුරුව ප්රචණ්ඩ සුළි කුණාටුවක් දක්වාත් තවදුරටත් තීව්ර වනු ඇතැයි කාලගුණ අංශ පුරෝකථනය කරයි.
මෙම පද්ධතිය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්, එළඹෙන නොවැම්බර් 03 වැනිදා අලුයම 5.30 වන විට ඉන්දියාවේ ආන්ධ්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පැයට කිලෝමීටර් 80ක චණ්ඩ මාරුත
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් අදාළ ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 සිට 80 දක්වා ඉතා ඉහළ අගයකට වර්ධනය විය හැකි අතර, තද ගිගුරුම් සහිත වැසි සමඟ මුහුදු ප්‍රදේශ ඉතා රළු හෝ අතිශය රළු විය හැකි බවට අනතුරු අඟවා ඇත.
ධීවර හා නාවික ප්‍රජාවට දැඩි අවවාදයක්
උතුරු අක්ෂාංශ 10° ත් 15° ත් සහ නැගෙනහිර දේශාංශ 80° ත් 90° ත් අතර පිහිටි ගැඹුරු මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැඩිව අවවාද කර සිටියි.
එමෙන්ම, මේ වන විටත් අදාළ මුහුදු කලාපවල ධීවර කටයුතුවල නිරතව සිටින පිරිස් වහාම ආරක්ෂිත ස්ථාන හෝ ගොඩබිම වෙත පැමිණෙන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ඉල්ලා සිටියි.

