බිලියන ගණනක මත්ද්‍රව්‍ය සමග ලංකාවේ බහුදින ධීවර යාත්‍රාවක් මාලදිවයිනේදී අල්ලයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මාලදිවයින් වෙරළ ආරක්‍ෂක බළකාය අතර සාර්ථක බුද්ධි තොරතුරු වුවමාරු කර ගැනීමක ප්‍රථිපලයක් ලෙස, අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ක්‍රිලෝ ග්‍රෑම් 344 ක පමණ තොගයක් සහ කොකේන් මත්ද්‍රව්‍ය ක්‍රිලෝ ග්‍රෑම් 124 ක පමණ තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) 2024 නොවැම්බර් මස 23 වන දින, මාලදිවයින් වෙරළ ආරක්‍ෂක බළකාය මඟින් අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

මාලදියින් අනන්‍ය ආර්ථික කළාපය වෙත “අශේන් පුතා” ලියාපදිංචි අංක IMUL-A-0924-MTR දරණ ශ්‍රී ලංකාවට අයත් බහුදින ධීවර යාත්‍රාව ඇතුලුවී ඇති බවත්, එම යාත්‍රාව   යම් දෝෂයක් හෝ ආපදාවක් හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයට ඇතුලුවි ඇත්ද යන්න සනාත කරන ලෙසත්, මාලදිවයින් වෙරළ ආරක්‍ෂක බළකායේ සමුද්‍රිය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින්, නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රිය සේවිම් හා මුදාගැනිම් සම්බන්ධිකරණ මධ්‍යස්ථානය වෙත 2024 නොවැම්බර් මස 23 වන දින අළුයම දැනුම් දීමක් සිදු කෙරිණි.

ඒ අනුව, එම දැනුම් දීමට වහාම  ක්‍රියාත්මක වූ නාවික හමුදාව, එම යාත්‍රාව සම්බන්ධ නාවික හමුදාව සතු තොරතුරු පරික්‍ෂා කෙරිණී. නාවික හමුදාව සතුව පවත්නා බුද්ධි තොරතුරු අනුව, “අශේන් පුතා” ලියාපදිංචි අංක IMUL –A-0924-MTR නැමැති එම බහුදින ධීවර යාත්‍රාව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ යාත්‍රාවක් බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් පරිදි එම බුද්ධි තොරතුරු කඩිනමින් මාලදිවයින් වෙරළආරක්‍ෂක බළකාය සමඟ හුවමාරු කර ගැනීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

නාවික හමුදාව විසින් ලබා දුන් එම බුද්ධි තොරතුරු අනුව, මාලදිවයින් වෙරළ ආරක්‍ෂක බළකාය විසින් එරට අනන්‍ය ආර්ථික කලාපය වෙත ඇතුලු වී තිබූ “අශේන් පුතා” ලියාපදිංචි අංක IMUL –A-0924-MTR දරණ මෙරට බහුදින යාත්‍රාවේ 2024 නොවැම්බර් මස 23 වන දින සිදුකල  විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම යාත්‍රාවේ ප්‍රවාහනය කරමින් තිබු  අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ක්‍රිලෝ ග්‍රෑම් 344 ක පමණ තොගයක් සහ කොකේන් මත්ද්‍රව්‍ය ක්‍රිලෝ ග්‍රෑම් 124 ක පමණ තොගයක් සමඟ එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් පස් දෙනෙකු (05) මෙලෙස මාලදිවයින් වෙරළ ආරක්‍ෂක බළකාය මඟින් අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21 ත් 37 ත් අත‍ර වන දෙවිනුවර සහ ත්‍රීකුණාමලය යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇති අතර, මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන එන ලද මත්ද්‍රව්‍ය  තොගයක්ද, නැතහෝත් වෙනත් කලාපීය රාජ්‍යයකට රැගෙන යන්නක්ද යන්න පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු නාවික හමුදා බුද්ධි අංශය සහ මාලදිවයින් බුද්ධි අංශය එක්ව සිදු කරණු ලබයි.

තවද, ධීවර කර්මාන්තය මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා  කලාපීය සමුද්‍රීය පාර්ශව කරුවන් සමඟ තොරතුරු හුවමාරු කර ගනිමින්, නාවික හමුදාව ඉදිරියටත් අඛණ්ඩව මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමේ මෙහෙයුම් සඳහා දායකත්වය ලබාදෙනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *