ශ්‍රී ලංකාවේ 1996 ලෝක කුසලාන ජයග්‍රාහී හිටපු නායක අර්ජුන රණතුංග ඇතුළු හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් නායකයින් පිරිසක්, සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු නායක සහ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් වෙත යළිත් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.
පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඛාන්ගේ වෛද්‍ය පරීක්ෂණ සම්බන්ධයෙන් ලබාදුන් නියෝගය ප්‍රමාණවත් ලෙස ක්‍රියාත්මක වී නොමැති බව පවසමින් මෙම හිටපු ක්‍රිකට් නායකයින් අගමැතිවරයා වෙත ලිපිය යොමු කර ඇත.
එම ලිපියට අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණේ ඛාන් රෝහලකට මාරු කර ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරුන් සහ ඔහුගේ සහෝදරිය වන වෛද්‍ය උස්මා ඛාන්ද ඇතුළත් වෛද්‍ය මණ්ඩලයක් මගින් සම්පූර්ණ පරීක්ෂණයකට ලක් කරන ලෙසයි. සතිපතා පවුලේ සාමාජිකයින්ට ඔහුව බැලීමට අවස්ථාව ලබාදීමද නැවත ක්‍රියාත්මක කරන ලෙස නියෝග කර තිබූ බව ඔවුහු පවසති.
කෙසේ වෙතත්, හිටපු ක්‍රිකට් නායකයින් චෝදනා කරන්නේ ඛාන් රෝහලේ රැඳී සිට ඇත්තේ පැය කිහිපයක් පමණක් බවත්, ඔහු පෞද්ගලික වෛද්‍යවරුන් ඇතුළත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ මණ්ඩලය වෙනුවට රජය විසින් පත් කළ වෛද්‍ය කණ්ඩායමක් විසින් පරීක්ෂා කර, වෛද්‍යමය වශයෙන් සුදුසු බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව යළි අඩියාල් බන්ධනාගාරයට යවා ඇති බවත්ය.
හිටපු ක්‍රිකට් නායකයින් ඉල්ලීම් තුනක් ඉදිරිපත් කර තිබේ.
- ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ වෛද්‍ය මණ්ඩලයට ඛාන්ගේ සම්පූර්ණ සහ ස්වාධීන වෛද්‍ය පරීක්ෂණයක් සිදු කිරීමට අවස්ථාව ලබාදීම, විශේෂයෙන් ඔහුගේ දකුණු ඇසේ පෙනීම අහිමිවීම සම්බන්ධයෙන්.
- සතිපතා පවුලේ සාමාජිකයින්ට ඔහුව බැලීමට ලබාදී ඇති අවස්ථාව අඛණ්ඩව සහතික කිරීම.
- වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව නිර්දේශ කරන ඕනෑම ප්‍රතිකාරයක් ප්‍රමාදයකින් තොරව ලබාදීම.
ලිපියට අත්සන් කළ හිටපු ක්‍රිකට් නායකයින් පවසා ඇත්තේ තමන් මෙම ඉල්ලීම ඉදිරිපත් කරන්නේ දේශපාලනඥයන් ලෙස නොව, හිටපු කණ්ඩායම් සගයන් සහ ප්‍රතිවාදීන් ලෙස බවයි. පාකිස්තානයේ අභ්‍යන්තර නීතිමය ක්‍රියාවලියට මැදිහත් වීම තම අරමුණ නොවන බවද ඔවුහු අවධාරණය කර තිබේ.
මෙම ඉල්ලීමට අර්ජුන රණතුංග සමඟ සුනිල් ගවස්කාර්, කපිල් දේව්, ඇලන් බෝඩර්, ස්ටීව් වෝ, ග්‍රෙග් චැපල්, ඉයන් චැපල්, ක්ලයිව් ලොයිඩ්, ඇලස්ටෙයාර් කුක්, ඇඩම් ගිල්ක්‍රිස්ට්, නසර් හුසේන් සහ ඩේවිඩ් ගවර් ඇතුළු හිටපු ක්‍රිකට් නායකයින් සම්බන්ධ වී සිටිති.
ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මෙම කණ්ඩායම පාකිස්තාන අගමැතිවරයා වෙත කළ දෙවැනි ඉල්ලීම මෙය වන අතර, මීට පෙර පෙබරවාරි මාසයේදීද ඛාන්ගේ ඇසේ ඇතිවූ බව කියන තත්ත්වයක් සහ බන්ධනාගාරයේදී ප්‍රමාණවත් වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් ඔවුන් කනස්සල්ල පළ කර තිබුණි.


