ලෝක බැංකු ණය සහ ආධාර යටතේ කොළඹ කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉහළ පෙළේ සාකච්ඡාවක් ඊයේ පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකුවේ රට භාර කළමනාකරු ගෙවෝර්ග් සාර්ග්සියාන්ගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති අතර මෙම සාකච්ඡාව පැවැත්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මීට පෙර පැවැති සාකච්ඡාවකදී අවධානය යොමු කළ කරුණු පිළිබඳවද මෙහිදී සමාලෝචනය කර තිබේ. එම සාකච්ඡාවේදී කොළඹ කොටුවේ ඓතිහාසික උරුමය ආරක්ෂා කරමින් එය ප්‍රධාන සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු කර තිබුණි.
සංචාරක ක්ෂේත්‍රයට පමණක් සීමා නොවී, කෘෂිකර්මාන්තය, වරාය සහ සැපයුම් සේවා මෙන්ම බලශක්ති ක්ෂේත්‍රය සඳහා රජය විසින් හඳුනාගෙන ඇති ජාතික ඉලක්ක සපුරා ගැනීමටද සහාය ලබාදීමට සූදානම් බව ලෝක බැංකු නියෝජිතයෝ ප්‍රකාශ කළහ.
කොළඹ කොටුව සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ලබාදිය හැකි දායකත්වය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු කර තිබේ.
එමෙන්ම ස්වභාවධර්මය පදනම් කරගත් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ උතුරු හා නැගෙනහිර පළාත්වල සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇත.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ලෝක බැංකු ඒකකයේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරී ස්ටෙෆාන් මැසිං සහ ලෝක බැංකු නියෝජිත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරී අසේල දිසානායක යන මහත්වරුන්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.


