වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට නවසීලන්තයෙන් නව පනත් කෙටුම්පතක්

නවසීලන්තයේ කොන්සර්වේටිව් සන්ධාන රජය විසින් වයස අවුරුදු 16ට අඩු දරුවන් සමාජ මාධ්‍ය භාවිත කිරීම තහනම් කිරීම සඳහා වන පනත් කෙටුම්පතක්   පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අදාළ නීතිය උල්ලංඝනය කරන සමාජ මාධ්‍ය වේදිකාවලට එම සමාගමේ ගෝලීය ආදායමෙන් 10%ක් දක්වා දඩ මුදලක් පැනවීමටද යෝජනා කර තිබේ.

යෝජිත නීතිය යටතේ සමාජ මාධ්‍ය සමාගම් විසින් පරිශීලකයින්ගේ වයස තහවුරු කිරීම සඳහා සාධාරණ ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇත. ඒ සඳහා දැනට පවතින ගිණුම් තොරතුරු, මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය සහ ඩිජිටල් අනන්‍යතා ලේඛන වැනි ක්‍රම භාවිත කළ හැකි බව සඳහන් වේ.

අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් ප්‍රකාශ කළේ නවසීලන්ත දරුවන්ගේ පරම්පරාවට සමාජ මාධ්‍ය හරහා සිදුවන හානිය නොසලකා හැරිය නොහැකි බවයි.

සමාජ මාධ්‍ය මගින් දරුවන්ට හානිකර අන්තර්ගතයන්, ඇබ්බැහි කරවන තාක්ෂණයන් සහ ඔවුන්ට මුහුණ දීමට තවමත් සූදානම් නොමැති සමාජ පීඩනයන්ට නිරාවරණය වීමට සිදුවන බවත්, එය ඔවුන්ගේ පවුල් ජීවිතය, මානසික සෞඛ්‍යය, නින්ද සහ අධ්‍යාපනයට බලපෑම් කරන බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත්, මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලැබේද යන්න පිළිබඳව තවමත් අවිනිශ්චිතතාවක් පවතී. ලක්සන්ගේ සන්ධාන රජයේ හවුල්කාර පක්ෂයක් වන නවසීලන්ත ෆස්ට් පක්ෂය පනත් කෙටුම්පතට සහාය නොදෙන බව දැනටමත් ප්‍රකාශ කර තිබේ.

එම පක්ෂයේ නායක සහ නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මෙම යෝජනාව විවේචනය කරමින්, මෙවැනි නීති රට “අනතුරුදායක මාවතකට” ගෙන යා හැකි බවට අනතුරු ඇඟවීය.

වයස අවුරුදු 16ට අඩු දරුවන් සමාජ මාධ්‍ය භාවිත කිරීම සීමා කිරීමේ වගකීම රජයට වඩා දෙමාපියන් සතු විය යුතු බවද පීටර්ස් ප්‍රකාශ කළේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඔස්ට්‍රේලියාව විසින් ක්‍රියාත්මක කළ සමාන නීතිය “විශාල අසාර්ථකත්වයක්” බවයි.

ඔස්ට්‍රේලියාව පසුගිය දෙසැම්බර් මාසයේදී වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කළ ලොව පළමු රට බවට පත්විය. එම නීතිය යටතේ TikTok, YouTube, Instagram සහ Facebook වැනි වේදිකා වෙත දරුවන්ගේ ප්‍රවේශය සීමා කර තිබේ.

කෙසේ වෙතත්, යෝජිත නීතිය ක්‍රියාත්මක කිරීම සරල කාර්යයක් නොවන බව අග්‍රාමාත්‍ය ලක්සන්ද පිළිගෙන තිබේ. ඇතැම් දරුවන්ට තහනම මගහැර සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ වීමට හැකි වනු ඇති බවද ඔහු සඳහන් කළේය.

එසේ වුවද, දරුවන් ආරක්ෂා කිරීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම අත්‍යවශ්‍ය බව ලක්සන් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *