පෙට්ටියක සැඟවී ජපානයෙන් පැනගිය නිසාන් ලොක්කා

කාර්ලොස් ඝොසන් ට එම දිනය හොඳින් මතකය. 2019 දෙසැම්බර් 30 වනදා රාත්‍රී 10.30ට පමණ විය.

ඒ වනවිට සංගීත උපකරණ බහාලන විශාල පෙට්ටියක ඔහු සැඟවී සිටියේ ය. ඔහුගේ අරමුණ වූයේ ජපානයෙන් පැනයාමය.

එම පෙට්ටිය රැගෙන යෑමට පැමිණ තිබූ ගුවන් යානය ඔසාකා ගුවන් පථයෙන් පිටවීමට නියමිතව තිබුණේ රාත්‍රී 11ට පමණය.

“එම ගුවන් යානය තුළ පෙට්ටියක් තුළ සිටි පැය භාගය තමයි මම අත්විඳි අපහසුම පැය භාගය.”  “දින කිහිපයකට පස්සේ ලෙබනන ට ආවහම මට දැනුණේ පුදුම සතුටක්,” කාර්ලොස් පැවසීය.

මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රබලම චරිතය වූයේ කාර්ලොස් ය. ඔහු ඒ වනවිට නිසාන් සහ රෙනෝල්ට් සමාගම්වල සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

පාඩු ලබමින් තිබූ නිසාන් සමාගම ඉන් ගොඩගත්තේ ඔහු ය. එම සමාගම් තුළ පමණක් නොව ලොව පුරා වාහන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඔහුව හඳුන්වූයේ නියම වැඩ්ඩෙක් ලෙසය.

අත්අඩංගුවට ගැනීම:

2018 වසරේ නොවැම්බර් මාසයේදී නිසාන් සභාපතිවරයාව ටෝකියෝ නගරයේදී ජපාන බලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණි. ඔහුට එල්ල වූ චෝදනාව වූයේ ආදායම සැඟවීම ය.

“මාව අත්අඩංගුවට ගත් විට මට දැනුණේ මාව බස් එකක හැප්පුනා වගේ. මට හිතා ගන්න බැරිවුණා වුණු දේ. මාව ගල් වුණා.” 

අත්අඩංගුවට ගත් කාර්ලොස් ව ටෝකියෝ රැඳවුම් මධ්‍යස්ථානයකට ගෙන යන ලදී. එහිදී ඔහුට රැඳවියන්ට දෙනු ලබන ඇඳුම් දුන් අතර ඔහුට වෙන්වූයේ කුඩා සිරකුටියකි.

ඔහුට පසුව ඇප දුන්නද, කාර්ලොස් නිවාස අඩස්සියේ තැබීමට ජපාන බලධාරීන් කටයුතු කළේය. නඩු විභාගයක් සිදුකෙරෙන දිනයක් ගැන අනුමාන කිරීම අපහසුය. ජපානයේ නඩු ඇසීම ආරම්භ කිරීමට සාමාන්‍යයෙන් වසර ගණනාවක් ගතවේ.

කෙසේ වෙතත් යම් හෙයකින් ඔහු වැරදිකරු වුවහොත් වසර 15ක සිරදඬුවමක් ඔහුට හිමිවීමට ඉඩ තිබුණි. සාමානයෙන් ජපානයේ නඩු ඇසීම්වලදී වරදකරු වීමේ ප්‍රතිශතය 99.4%ක් ලෙස වාර්තා වේ.

ඔහුව නිවාස අඩස්සියේ තබාගෙන සිටින අතරතුර ජපාන බලධාරීන් ඔහුට දන්වා ඇත්තේ “මින් ඉදිරියට බිරිඳට ඔබව හමුවෙන්න දෙන්න විදියක් නෑ” යනුවෙනි.

“එවිට මම තීරණය කළා පැනලා යන්න ක්‍රමයක් හොයාගන්න,” කාර්ලොස් පැවසීය.

“අපේ සැලසුම වුණේ කාටවත් නොපෙනෙන ලෙස සිටීම. ඒ සඳහා හොඳම දේ වුණේ විශාල පෙට්ටියක් සපයා ගැනීම. ඒ කාළේ ජපානේ නිතරම සංගීත සංදර්ශන තිබුණා. ඒ නිසා ලොකු පෙට්ටියක සැඟවී යෑම වඩාත් උචිත බව හඳුනාගත්තා.”

පැනයාමට යොදාගත් දිනයේ සාමාන්‍ය ලෙස හැසිරීමට ඔහු වගබලා ගත්තේය. සැඟවී යන ගමන සඳහා පහසු ඇඳුමක් තොරගැනිනි.

සැඟවී පැනයෑම:

ටෝකියෝ නගරයේ සිට කාර්ලොස් බුලට් දුම්රියක නැග ඔසාකා වෙත ගියේය. ඒ වනවිට ඔහු රැගෙන යෑමට පැමිණි පෞද්ගලික ගුවන් යානය ඔසාකා ගුවන් පථයේ නවතා තිබුණි.

කිසිවෙකුටත් හඳුනාගත නොහැකි ලෙස ඔහු සැරසී සිටියේය. නගරයේ පිහිටි හෝටලයකට ඔහුට සැඟවීමට විශාල පෙට්ටියක් ගෙනැවිත් තිබූ බව ඔහු පැවසීය.

කාර්ලොස් සැඟවී සිටි පෙට්ටිය හෝටලේ සිට ගුවන් තොටුපොළට ගෙන යෑමේ වගකීම පවරා තිබුණේ මයිකල් සහ පීටර් ටේලර් නම් පිය පුතු දෙපළටය.

ඔවුන් සංගීතවේදීන් ලෙස හඳුන්වා තිබුණි.

ඔහු පැය 1 1/2ක පමණ කාලයක් එම පෙට්ටියේ සැඟවී සිටියේය.

පෞද්ගලික ගුවන්යානය නියමිත වෙලාවට (රාත්‍රී 11ට) පිටත් වූ අතර කාර්ලොස් මද වේලාවකින් නිදහස ලැබීය. එම ගුවන් යානය තුර්කිය දක්වා ගමන්ගත් අතර එහිදී වෙනත් ගුවන් යානයකට නැගුණු ඔහු සිය මව් රට වන ලෙබනනයට පසුවදා පැමිණීමට සමත් විනි.

ලෙබනනය සහ ජපානය අතර සැකකරුවන් පිටුවහල් කිරීමේ ගිවිසුමක් ක්‍රියාත්මක නොවේ. එබැවින් කාර්ලොස් ට එරට නිදහසේ ජීවත්වීමේ වරම ලැබී තිබේ.

නමුත් ජපානයෙන් ඔහුට පිටවීමට උදව්කළ මයිකල් ටේලර් සහ ඔහුගේ පුතාව අමෙරිකාව විසින් ජපානයට භාර දුනි. ඔවුන් මේවනවිට වසර තුනක සිරදඬුවමක් ගෙවයි.

එසේම ඔහුගේ මිතුරෙක් වන නිසාන් සමාගමේ ග්‍රෙග් කෙලී මේ වනවිට ජපානයේ නිවාස අඩස්සියේ පසුවේ.

කාර්ලොස් ට ඔහුගේ ආදායම පිළිබඳ තොරතුරු සැඟවීමට උදව්කළ බවට කෙලී ට චෝදනා එල්ල වී තිබේ. නමුත් ඔහු එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *