ආසාදිතයින් හමු වූ ප්‍රදේශ

කොවිඩ් -19 ආසාදිතයින් 1,413 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගෙන තිබේ.

ඉන් වැඩිම සංඛ්‍යාව වන ආසාදිතයින් 248 දෙනෙකු මන්නාරම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබීම විශේෂත්වයකි.

දෙවැනියට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 210 දෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 156කි.

විදෙස්ගතව සිට පැමිණි 9 දෙනෙකු ද ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරට අයත්ය.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 277,519 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 247,569 දෙනෙකු මේ වනවිට සුවය ලබා තිබේ.

කෙසේවෙතත් ආසාදිතයින් 26,417 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා
අංශය සඳහන් කරයි.

මෙරට සිදුවී ඇති කොවිඩ් -19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 3,574 දෙනෙකු දක්වා ඉහළගොස් තිබේ.

මේ වනවිට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව 925,242 දෙනෙකුටත් එහි දෙවන මාත්‍රාව 385,885 දෙනෙකුටත් ලබාදී තිබේ.

එමෙන්ම මෙරට ජනතාවට මේ වනවිට වැඩිම එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ලබාදී ඇති චීනයේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලක්ෂ 34 ඉක්මවූ පිරිසකට එන්නත්කර ඇත.

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව 154,003 දෙනෙකුටත්, එහි දෙවන මාත්‍රාව 14,464 දෙනෙකුටත් මේ වනවිට ලබාදී අවසන්ය.

අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් ද මෙරට පුද්ගලයින් 23,767 දෙනෙකුට ලබාදී ඇති බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි.

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති මෙරට සමස්ත පුද්ගලයින් ගණන මේ වනවිට ලක්ෂ 45 ඉක්මවා තිබේ.

එම සංඛ්‍යාව 4,520,537කි.

ඒ අතරින් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1,537,230කි.

මේ අතර නිරෝධායන රීතී උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (13) දිනයේ දී පුද්ගලයින් 164 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මුහුණු ආවරණ නොපැලඳීම සහ පුද්ගල දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

එම වැරදි සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 30 වන දින සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 49,837 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර විකෘති ප්‍රභේදයන් බවට සැකකෙරෙන කොරෝනා සාම්පල 14ක් සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඒ අනුව මෙහි ප්‍රතිඵල ඉදිරි සතිය තුළදී ලබාදීමට හැකිවනු ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

ඩේල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් කිහිපදෙනෙකු මෙරටින් හඳුනා ගැනීමත් සමග අහඹු පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබුණි.

එහිදී එම සාම්පලවල මූලික විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව සැක සහිත සාම්පල සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනය මගින් සිදු කරනු ලබයි.

මේ වනවිට මෙරටින් ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 18 දෙනෙකු හඳුනාගෙන ඇති බවද නියෝජ්‍ය
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *