නව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේ

නව සූර්ය බලශක්ති (Solar power) ව්‍යාපෘති සඳහා අයදුම්පත් භාරගැනීම රජය විසින් අත්හිටුවා ඇති බවට සඳහන් කරමින් රාජකීය කොළඹ ගොල්ෆ් සමාජය (RCGC) විසින් නිකුත් කරන ලද නිවේදනයක් උපුටා දක්වමින්, එක්සත් ජාතික පක්ෂ (UNP) කාරක සභා සභික දිනූක් කොළඹගේ මහතා වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති ප්‍රතිපත්තිය දැඩි ලෙස ප්‍රශ්න කර තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් දිනූක් කොළඹගේ මහතා පෙන්වා දෙන්නේ, නව සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා අයදුම්පත් භාරගැනීම රජය විසින් තාවකාලිකව අත්හිටුවා ඇති බවට රාජකීය කොළඹ ගොල්ෆ් සමාජයේ සාමාජිකයින් වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බවයි.
2026 නොවැම්බර් 01 වැනි දිනැතිව නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වෙන්නේ, ගොල්ෆ් සමාජයේ වහලය ප්‍රතිසංස්කරණය කර සූර්ය බලශක්ති පද්ධතියක් (Rooftop Solar) ස්ථාපිත කිරීම සඳහා මීට පෙර පැවති විශේෂ මහා සභා රැස්වීමකදී අනුමැතිය ලබාගෙන තිබූ බවයි.
කෙසේවෙතත්, රජය මඟින් සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවා ඇති බවට ලද දැනුම්දීම හේතුවෙන් සහ අදාළ බලධාරීන්ගෙන් ඒ පිළිබඳව වැඩිදුර පැහැදිලි කිරීමක් ලැබෙන තුරු එම ව්‍යාපෘතිය තාවකාලිකව නතර කර තැබීමට ගොල්ෆ් සමාජයේ පාලනාධිකාරිය තීරණය කර ඇත.
“2030 ඉලක්කය අතහැර දැමුවාද?”
රජයේ මෙම තීරණය විවේචනය කරමින් දිනූක් කොළඹගේ මහතා පෙන්වා දෙන්නේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී 2030 වසර වන විට මෙරට සමස්ත විදුලිබල උත්පාදනයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් ලබාගැනීමේ ජාතික ඉලක්කයක් සකස් කර තිබූ බවයි.
වත්මන් රජය විසින් එම ජාතික ඉලක්කය සහ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම අත්හැර දමා ඇත්දැයි ඔහු මෙහිදී ප්‍රශ්න කර සිටියි.
ජාතික පද්ධති මෙහෙයුම්කරුගේ ස්ථාවරය
වහල මත සවිකරන සූර්ය බල පද්ධති සඳහා අනුමැතිය ලබාදීම සීමාකිරීම සම්බන්ධයෙන් ජාතික පද්ධති මෙහෙයුම්කරු (NSO) විසින් මීට පෙරද යම් පියවර ගෙන තිබූ පසුබිමක මෙම සිදුවීම වාර්තා වේ.
පසුගිය සැප්තැම්බර් මාසයේදී ජාතික පද්ධති මෙහෙයුම්කරු නිවේදනය කර තිබුණේ, සූර්ය බලශක්ති ධාරිතාව ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායීතාවයට (Grid stability) එල්ල විය හැකි අවදානම් සලකා බලා නව වහල මත සූර්ය පද්ධති සම්බන්ධතා නියාමනය කිරීමට පියවර ගත් බවයි.
කෙසේවෙතත්, එම පියවර තාවකාලික එකක් පමණක් බවත්, එය පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය කෙරෙහි පනවන ලද දිගුකාලීන සීමාකිරීමක් නොවන බවත් ජාතික පද්ධති මෙහෙයුම්කරු මීට පෙර අවධාරණය කර තිබිණි.

