ශ්රී ලංකාව හා නවසීලන්තය අතර කොළඹ පී.සරා ඕවල් ක්රිකට් ක්රීඩාංගණයේදී අද(22) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ පළමු දිනය අයහපත් ආලෝකය හේතුවෙන් නවත්වන විට ශ්රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2ක් දැවී ලකුණු 85ක් ලබාගෙන සිටී.
වර්ෂාව හේතුවෙන් අද උදෑසන තරගය ආරම්භ කිරීමට නොහැකිවූ අතර දිවා ආහාරයෙන් පසුවද පැය කිහිපයක් ගතවනතුරු තරගය ආරම්භ කළ නොහැකි විය. අනතුරුව පස්වරුවේ පන්දුවාර 36 පන්දු 3ක් පමණක් යැවීමට හැකිවූ අතර කාසිය වාසිය දිනූ ශ්රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
පන්දුයැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ගැටලුවකට මුහුණ පා සිටින අකිල ධනංජය වෙනුවට දිල්රුවන් පෙරේරා කැඳවීම ශ්රි ලංකාව අද තරගයට කළ එකම වෙනස්කම විය. තරගය නතර කරන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි නායක දිමුත් කරුණාරත්න ලකුණු 49ක් ලබා සිටින අතර කුසල් මෙන්ඩිස් තරගය නතර කිරීමට සුළු වේලාවකට පෙර ලකුණු 32කට දැවී ගියේය. ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්නට ලබා ගත හැකි වූයේ ලකුණු 2ක් පමණි. ඇන්ජලෝ මැතිව්ස් කිසිදු ලකුණක් නොලබා කඩුල්ලේ රැඳී සිටී.
නවසීලන්තය වෙනුවෙන් කොලින් ඩි ග්රෑන්ඩ්හෝම් හා විලියම් සමර්විලී කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූහ.
(Image – cricinfo)