ගෝඨාට එරෙහිව මඩ පත්‍රිකා බෙදද්දී අතටම අහුවෙයි – ඇමැති හර්ෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන ලෙස මුද්‍රණය කළ අත් පත්‍රිකා තොගයක් බෙදා හැරීමේ නිරතව සිටි අයකු අල්ලාගැනීමෙන් පසු අදාළ නියෝගය දුන් ඇමැති හර්ෂ ද සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු අතඩංගුවට ගෙන ඇත.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ දැන්වීම් අතර තිබුණු එම පත්‍රිකා තොගය හමු වූයේ නුගේගොඩ මිරිහාන ප්‍රදේ්ශයේ නිවෙස් වෙත බෙදාහරිමින් තිබියදීය.

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් අද(10) නුගේගොඩ විජේරාම ප්‍රදේශයේ මුද්‍රණාලයක් සෝදිසි කළ අතර ඒ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන ලෙස පත්‍රිකා මුද්‍රණය කරන බවට ලද පැමිණිල්ලකට අනුවයි.

පැමිණිල්ල කර තිබෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නියෝජ්‍ය නගරාධිපති ප්‍රේමලාල් අතුකෝරාළ ,නාගරික මන්ත්‍රි විරාජ් වික්‍රමනායක සහ මහරගම හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර යන මහත්ම මහත්මීන් විසිනි.

අනතුරුව නියෝජ්‍ය නගරාධිපතිවරයා සහ නාගරික මන්ත්‍රිවරයා නුගේගොඩ මිරිහාන පෞද්ගලික මාර්ගයක් ඔස්සේ ගමන් කරන්නේ එහි නිවාස වෙත මෙම අත් පත්‍රිකා බෙදා දෙන බවට ලැබුණු තවත් තොරතුරක් මතයි.

එහිදී එම අපහාස පත්‍රිකා බෙදාහරිමින් සිටි පුද්ගලයෙකු හමුවිය.

එහිදී දැකගත හැකිවන්නේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ පත්‍රිකා අතර තබා ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන ලෙස පත්‍රිකාද බෙදා දෙන අයුරුයි.

කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රිවරයෙකු පිළිබඳ හෙළි කළේය.

එම ස්ථානයට එම හිටපු නාගරික මන්ත්‍රිවරයා ද පැමිණෙන අතර එහිදී හෙළි වන්නේ ඔහු කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ අමාත්‍යාංශයේ වත්මන් සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බවයි.

සිද්ධියෙන් පැය භාගයකට පමණ පසුව එම ස්ථානයට මිරිහාන පොලිසියේ නිලධාරීන් පැමිණෙන අතර සැකකාර පුද්ගලයන් පොලිසිය වෙත රැගෙන යන්නේ මගී බස් රථයක නංවාගෙනයි.

මිරිහාන පොලිස් ස්ථානයට කෝට්ටේ නගරාධිපති නීතීඥ මධුර විතානගේ මහතා ද පැමිණ සිටි අතර ඔහු චෝදනා කළේ පොලීසිය මේ සම්බන්ධයෙන් කාර්යක්ෂමව ක්‍රියා නොකළ බවයි.

ප්‍රශ්න කිරීමවලින් පසු අත් පත්‍රිකා බෙදූ පුද්ගලයා සහ අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා අත්අඩංගුවට ගැනුණි.

සිද්ධිය පිළිබඳ අද පැවති මාධ්‍ය හමුවකදී කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා මේ පිළිබඳ අදහස් දැක්විය.

එහිදී ඔහු ප්‍රකාශ කළේ තමා සමඟ සිටි දේශපාලන ක්‍රියාතාරිකයෙකු මෙම ක්‍රියාව සිදු කර ඇති බවයි.

තමන් ඒ අවස්ථාවේ දීම ගෝඨාභය රාජපක්ෂ මහතාව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වු බවයි.

තමා මඩ දේශපාලනයට විරුද්ධ බවත් එම ක්‍රියාව සම්බන්ධව තමාගේ දැඩි අප්‍රසාදය පල කරන බවත් ඒ මහතා කියා සිටියේය.

මේ අතර ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ පත්‍රිකා සමග ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන පරිදි සකස් කළ එම අත් පත්‍රිකා බැද්දගාන ප්‍රදේශයේ බෙදා හැර ඇති බවට ද පැමිණිල්ලක් මිරිහාන පොලිසියට ලැබී ඇති අතර ඒ පිළිබඳවද පරීක්ෂණ ක්‍රියාත්මකවේ.
(උපුටා ගැනීම – අද දෙරණ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *