Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය

කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය

වැරදි සංක්‍රමණික උපදෙස් සහ අඛණ්ඩව වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප වීම හේතුවෙන් වසර තුනකට ආසන්න කාලයක් පුරා පැසිෆික් සාගරයේ පිහිටි ‘කුක් දූපත්’ (Cook Islands) හි අසරණව අතරමංව සිටින ශ්‍රී ලාංකික කාන්තාවකගේ ඛේදනීය තත්ත්වය පිළිබඳව බීබීසී (BBC) පුවත් සේවය විසින් සවිස්තරාත්මක අනාවරණයක් සිදුකර තිබේ.

නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව හරහා ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ඇය කළ සංක්‍රමණික වීසා (Transit Visa) ඉල්ලීම් අසාර්ථක වීම පිළිබඳව පසුගිය ඔක්තෝබර් 21 වැනිදා ‘Newswire’ පුවත් සේවය මඟින් මුල්වරට කරුණු හෙළිකර තිබිණි.

බීබීසී නවතම වාර්තාවට අනුව, මෙලෙස අසරණව සිටින්නේ 50 හැවිරිදි රුචිරා රණසිංහ (Ruchira Ranasingha) නමැති එක්දරු මවකි. තමන් පවත්වාගෙන ගිය කුඩා ටී-ෂර්ට් කර්මාන්ත ශාලාව ආර්ථික අර්බුදය හමුවේ වැසී යාම නිසා 2018 වසරේදී ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය ඇය, මුලින් හොංකොංහි සාත්තු සේවිකාවක ලෙස සේවය කර ඇත. අනතුරුව 2022 දෙසැම්බරයේදී නවසීලන්තය වෙත ගොස් එහිදී දේශපාලන රැකවරණ (Asylum) ඉල්ලා අයදුම් කර තිබේ.

වීසා උපදේශකයන්ගේ උගුලකට හසුවූ හැටි

එහිදී සංක්‍රමණික උපදේශන ආයතනයක් ඇයට උපදෙස් දී ඇත්තේ, නවසීලන්තයෙන් තාවකාලිකව පිටව ගොස් පිටරටක සිට රැකියා වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරන ලෙසයි. එම උපදෙස් පිළිපදිමින් ඇය කුක් දූපත් වෙත ගියද, ඇයගේ රැකියා වීසා අයදුම්පත ප්‍රතික්ෂේප විය. ඒ සමඟම නවසීලන්තයෙන් පිටවීම නිසා ඇය සතුව තිබූ දේශපාලන රැකවරණ වීසා කොන්දේසිද උල්ලංඝනය වී ඇයට යළි නවසීලන්තයට ඇතුළුවීමේ දොරටු වැසී ගියේය.

ලංකාවට පැමිණීම සඳහා ඇය නවසීලන්තය හරහා පැමිණීමට අවස්ථා තුනකදී සහ ඔස්ට්‍රේලියාව හරහා පැමිණීමට අවස්ථා හතරකදී සංක්‍රමණික වීසා (Transit visas) සඳහා ඉල්ලුම් කළද, ඒ සියල්ලම ප්‍රතික්ෂේප වී තිබේ. හවායි හෝ ටහිටි දූපත් හරහා පැමිණීමට දැරූ උත්සාහයන්ද ජෛවමිතික (Biometric) වීසා අවශ්‍යතා සපුරාලීමට නොහැකිවීමෙන් අසාර්ථක විය. ඒ අනුව ගුවන් මගින් කුක් දූපත්වලින් පිටවී ලංකාවට ඒමට ඇයට කිසිදු නීත්‍යානුකූල මාවතක් ඉතිරිව නැත.

“මගේ එකම පුතාගේ මඟුල මේ මාසේ; මට ගෙදර යන්න ඕනෙ!”

රුචිරාගේ එකම පුතුගේ විවාහ මංගල්‍යය එළඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අතර, පුතුගේ මංගල්‍යයට එක්වීමට මව්බිමට පැමිණීමට නොහැකිව ඇය දැඩි මානසික පීඩාවකින් පසුවෙයි.

“ඔවුන් මට කරන්න කියන ඕනෑම දෙයක් මම කරන්නම්… මට ඕනෙ මගේ රටට, මගේ ගෙදරට යන්න විතරයි,” යනුවෙන් ඇය හඬාවැටෙමින් බීබීසී මාධ්‍යවේදියා හමුවේ පවසා තිබේ.

වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ කුක් දූපත්හි හෝටලයක් විසින් ඇයට නොමිලේ නවාතැන් ලබාදී ඇති අතර, එහි වෙසෙන දේශීය වැසියන් ඇයට ආහාර, ඇඳුම් පැළඳුම් ඇතුළු අනෙකුත් මූලික අවශ්‍යතා සපයමින් රැකබලා ගන්නා බවද වාර්තා වේ.

නවසීලන්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව බීබීසී වෙත පවසා ඇත්තේ, ඇය රට හරහා සංක්‍රමණය වීමේ අවංක චේතනාවෙන් පැමිණෙන්නේද යන්න පිළිබඳව බලධාරීන් සෑහීමකට පත්නොවීම හේතුවෙන් සංක්‍රමණික වීසා ප්‍රතික්ෂේප කළ බවයි.

විදේශ අමාත්‍යාංශය මැදිහත් වෙයි

මේ අතර, අතිශය සාධනීය පියවරක් තබමින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය බීබීසී පුවත් සේවයට තහවුරු කර ඇත්තේ, අසරණව සිටින රුචිරා රණසිංහ මහත්මිය කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

නවසීලන්තයේ වෙලින්ටන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් මේ පිළිබඳව නවසීලන්ත බලධාරීන් සමඟ ඒකාබද්ධව සාකච්ඡා කරමින් විසඳුමක් සෙවීමට කටයුතු කරමින් සිටින බව අමාත්‍යාංශය සඳහන් කළේය. දීර්ඝ කාලයක් තිස්සේ පවුලෙන් ඈත්ව හුදකලා දූපතක සිරවී සිටින ඇයගේ මානසික හා ශාරීරික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඇයගේ පවුලේ සාමාජිකයෝ දැඩි කනස්සල්ලෙන් පසුවෙති.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *