එංගලන්තයේ ලීඩ්ස්හිදී පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි ටෙස්ට් තරගයේදී සිය පළමු ඉනිමේදී එංගලන්තය ලකුණු 67කට සියලු දෙනා දැවී ගියේය. ඒ ඕස්ට්‍රේලියා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 179ක් ලබාගැනීමෙන් පසුවය.
එංගලන්තය වෙනුවෙන් ජේ.ඩෙන්ලි රැස්කළ ලකුණු 12 එම ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව වූ අතර අනෙක් කිසිදු පිතිකරුවකුට ලකුණු 9කට වඩා රැස් කරගැනීමට ඕස්ට්‍රේලියා පන්දු යවන්නෝ ඉඩ ලබා නොදුන්හ. 1948න් පසු අළු බඳුන තරගාවලියකදී එංගලන්තය රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව මෙයයි. එංගලන්ත ඉනිම සුනු විසුණු කර දැමූ ඕස්ට්‍රේලියාවේ ජොස් හෙසල්වුඩ් ලකුණු 30කට කඩුලු 5ක් දවාගත්තේය. පැට් කමින්ස් කඩුලු 3ක් බිඳ දැමීය.
තරගයේ දෙවැනි දිනය අවසන් වනවිට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 171ක් ලබා එංගලන්තයට වඩා ලකුණු 283ක් ඉදිරියෙන් සිටියේ තවත් කඩුලු 4ක් අතැතිවය. ඕස්ට්‍රේලියා දෙවැනි ඉනිම වෙනුවෙන් මානස් ලබුස්චේන් නොදැවී ලකුණු 53ක් ලබාසිටී.
අළු බඳුන තරගාවලියේ පළමු තරගය ඕස්ට්‍රේලියාව ජයගත් අතර දෙවැනි තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.