අයහපත් කාලගුණයෙන් ලක්ෂ 13කට පීඩා

  • නිවාස හානි 322ක්
  • 5,067ක් ආරක්ෂිත ස්ථාන 27කට
  • ප්‍රදේශ රැසකට නාය යෑමේ අනතුරු ඇඟවීම්
  • තිදෙනෙක් මරුට 3ක් අතුරුදන්
  • වැසි තත්ත්වය තවදුරටත්

උපාලි කරුණාරත්න, රුවන්ත නිතුල්ගස්පිටිය, අයගම සමූහ සහ බෙලිහුල්ඔය සමූහ

දිවයින පුරා දිස්ත්‍රික්ක 5කට ඇඳ හැළෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35ක පවුල් 31,303 පුද්ගලයන් දහතුන් ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ නිවේදනය කළේය.

එම මධ්‍යස්ථානයේ රාජකාරි භාර නිලධාරි නි⁣යෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ මේ වන විට පවතින අධික වර්ෂාව, ගංවතුර, දැඩි සුළඟ සහ නාය යෑම් හේතුවෙන් මරණ 3ක්, අතුරුදන් වීම් 3ක් සහ තුවාල ලැබූවන් කිහිප දෙනකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බවයි.

මෙලෙස මියගොස් ඇති අය අතර රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම මැදපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි සෙත්මිණි පෙරේරා නමැති තරුණියකි. පස් කන්දක් නාය යෑම ⁣ හේතුවෙන් මේ මරණය සිදුව ඇති අතර, නාය යන අවස්ථාවේ ඒ අසලින් ගමන් ගත් 60 හැවිරිදි පුද්ගලයකුද පස් කන්දට යටවී ඇති බවත් ඔහු සොයා යුද හමුදාව සහ සහන කණ්ඩායම් එක්ව විශේෂ මෙහෙයුමක් දියත් කරන බවත් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතගම මහත්මිය ‘දිනමිණ’ ට පැවසුවාය.

මේ නාය යෑමෙන් මරණයට පත්වූ දැරියගේ මව මේ වන විට රෝහල් ගත කර ඇති අතර, නවෙස මුළුමනින්ම විනාශ වී ඇති බවද ලේකම්වරිය කීවාය.

ගම්පහ, රත්නපුර, කොළඹ, පුත්තලම සහ කළුතර යන ප්‍රදේශවලට බලපාන මේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කයන්හි ජීවත් වන පවුල් 1,119කට අයත් පුද්ගලයන් 5,067ක් ආරක්ෂිත ස්ථාන 27ක් වෙත යොමු කර ඇති බවත් ආපදාවට පත්වූ පවුල්වලට අයත් ඥාතීන්ගේ නිවාස 792කට පවුල් 200කට අයත් පුද්ගලයන් 792ක් යොමු වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේය.

මේ අතර අර්ධ නිවාස හානි 317ක්, පූර්ණ නිවාස හානි 5ක් වාර්තා වී ඇති අතර නාය යෑම්, පස්කඳු කඩා වැටීම්, ගංවතුර සහ ජල පහරවලට හසුවී ගසා ගෙන යෑම්, ජලය නිසා මාර්ග අවහිර වීම් හේතුවෙන් මේ ආපදා තත්ත්වයන් ඇති වී තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම සහ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි නාය යෑම් සහ පස් කඳු කඩා වැටීම්ද, කොළඹ දිස්ත්‍රික්කයේ කෝට්⁣ටේ, කඩුවෙල, කොළොන්නාව සහ තිඹිරිගස්යාය යන ප්‍රදේශයන්ට අධික ගංවතුර තත්ත්වයක්ද, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, බණ්ඩාරගම, බදුරලිය යන ප්‍රදේශයන්ට නාය යෑම් සහ ගංවතුර තත්ත්වයක්ද, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කයන්හි ස්ථාන රැසකට ගංවතුර තත්ත්වයක් හ⁣ට ගෙන තිබේ.

මේ හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, පාලින්දනුවර, අඟලවත්ත යන ප්‍රදේශයන්හි මාර්ග 6ක් මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ, මිනුවන්ගොඩ, පෑලියගොඩ, වත්තල, ජාඇළ සහ ගම්පහ නගර සීමාව ආශ්‍රිතව මාර්ග 20කට අධික ප්‍රමාණයක ජල ගැලීම් හේතුවෙන් මාර්ග අවහිර වී ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේය.

පසුගිය දා රාත්‍රියේ සිට ඇඳ හැළෙමින් තිබෙන වර්ෂාව පැවති තත්ත්වයට සාපේක්ෂව අද සහ හෙට දිනයේ අඩු වනු ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *