අනෝජන්ගේ නඩුවට හිටපු මාලදිවයින් ජනපති මොහොමඩ් නෂීඩ්ගේ සහාය

සෞදි අරාබියේදී මරණ දඬුවමකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකිකයෙකු වන සිවරාසා අනෝජන් මහතාගේ නඩුව සම්බන්ධයෙන් සහාය ලබාදීමට හිටපු මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා එකඟ වී තිබේ.

අනෝජන් මහතා සම්බන්ධයෙන් මානුෂීය මැදිහත්වීමක් සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා සහ ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා නෂීඩ් මහතා හමුවී තිබේ.

එහිදී අනෝජන් මහතාගේ ක්‍රියාව “හෙළා දැකිය යුතු” ක්‍රියාවක් ලෙස තමන් සලකන නමුත්, මානුෂීය හේතූන් මත ඔහුට සහාය වීමට සූදානම් බව නෂීඩ් මහතා නීතිඥවරුන් දෙදෙනාට පවසා තිබේ.

අනෝජන් මහතාට එරෙහිව ලබාදී තිබූ දඬුවම සෞදි අරාබියේ අභියාචනාධිකරණයක් මගින් මරණ දඬුවමක් දක්වා ඉහළ නැංවීමෙන් පසු, ඔහු වෙනුවෙන් නීතිමය සහ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව පියවර ගනිමින් සිටින අවස්ථාවක මෙම හමුව සිදුව තිබේ.

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ ෆයිසර් මුස්තාපා සහ උපුල් කුමාරප්පෙරුම යන ජනාධිපති නීතිඥවරුන් අනෝජන් මහතාගේ නඩුවට නීතිමය සහාය ලබාදීමටත්, තම පෞද්ගලික වියදමින් සෞදි අරාබියට ගොස් කටයුතු කිරීමටත් එකඟ වී ඇති බවයි.

ඔවුන් අනෝජන් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් සහ අදාළ සෞදි බලධාරීන් සමඟ සාකච්ඡා කර නඩුව සම්බන්ධයෙන් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමට නියමිතය.

මේ අතර, ශ්‍රී ලංකා රජයද අනෝජන් මහතා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ශ්‍රමිකයෙකු බැවින්, ඔහුගේ නඩුවට අදාළ සියලු නීතිමය වියදම් දැරීමට කටයුතු කරන බව ප්‍රකාශ කර තිබේ.

අනෝජන් මහතා වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ගවලට අමතරව රාජ්‍යතාන්ත්‍රික සහ මානුෂීය මැදිහත්වීම්ද සිදුකෙරෙමින් පවතී. නෂීඩ් මහතාගේ සහායද එම මානුෂීය මැදිහත්වීම් සඳහා නව අවස්ථාවක් ලෙස සැලකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *