ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සමාගම් 6කට සහ එම සමාගම්වල අධ්‍යක්ෂවරුන්ට අදාළ දේපළ සහ වත්කම් මාරු කිරීම, බැහැර කිරීම හෝ වෙනත් ආකාරයකින් ගනුදෙනු කිරීම සීමා කරමින් වත්කම් අත්හිටුවීමේ නියෝග නිකුත් කර තිබේ.
2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනතේ 44 වැනි වගන්තිය යටතේ මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා විසින් මෙම නියෝග නිකුත් කර ඇත.
අනතුරුව කොළඹ මහාධිකරණය විසින් එම වත්කම් අත්හිටුවීමේ නියෝග තහවුරු කර ඒවා දීර්ඝ කර තිබේ.
අදාළ නියෝගවලට ඇතුළත් සමාගම් වන්නේ
Kasagala Green Plantation (Private) Limited,
Ceylon Green Life Plantation (Private) Limited,
Singhe Capital Investment Limited,
Pro Shop Advertising Holdings (Private) Limited,
Athens International Education Centre (Private) Limited සහ Eyon Lanka Investment & Film Production International Company (Private) Limited යන සමාගම්ය.
මහ බැංකුව සඳහන් කළේ Kasagala Green Plantation සහ Ceylon Green Life Plantation යන සමාගම් සම්බන්ධයෙන් මූල්‍ය ව්‍යාපාර පනතේ 42 වැනි වගන්තිය යටතේ මේ වනවිට විමර්ශන සිදුකරමින් පවතින බවයි.
අනෙක් සමාගම් හතර මූල්‍ය ව්‍යාපාර පනතේ 2 වැනි වගන්තිය උල්ලංඝනය කරමින් මහජනතාවගෙන් තැන්පතු භාරගෙන ඇති බව හෝ මූල්‍ය ව්‍යාපාර කටයුතු සිදුකර ඇති බව මහ බැංකුව විසින් තීරණය කර ඇති බවද සඳහන් වේ.
මේ අතර, නීත්‍යානුකූලව මහජනතාවගෙන් තැන්පතු භාරගැනීමට අවසර ලබා ඇති ආයතනවල පමණක් මුදල් තැන්පත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
1988 අංක 30 දරන බැංකු පනත හෝ මූල්‍ය ව්‍යාපාර පනත යටතේ බලපත්‍ර ලබා ඇති ආයතන මෙන්ම නීතියෙන් විශේෂයෙන් නිදහස් කර ඇති ආයතනවලට පමණක් මහජනතාවගෙන් තැන්පතු භාරගැනීමට අවසර ඇති බව මහ බැංකුව පවසයි.
අවසරයකින් තොර ආයතනවල මුදල් තැන්පත් කිරීමෙන් තම මුදල් අහිමි වීමේ අවදානමකට මහජනතාව ලක්විය හැකි බවටද මහ බැංකුව අනතුරු අඟවා තිබේ.
සැකකටයුතු අනවසර මූල්‍ය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි මත තවත් පුද්ගලයන් සහ ආයතන කිහිපයක් සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින් පවතින බව මහ බැංකුව සඳහන් කළේය.
නීති විරෝධී ලෙස මහජනතාවගෙන් තැන්පතු භාරගන්නා බවට සැක කෙරෙන පුද්ගලයන් හෝ ආයතන පිළිබඳ තොරතුරු මහ බැංකුව වෙත දැනුම් දෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටී.
එවැනි තොරතුරු අනවසර මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් දැනට සිදුකරන විමර්ශන සඳහා වැදගත් සහායක් වනු ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේය.


