සියැටල් ආහාර උත්සවයක වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට; පස් දෙනෙකුට තුවාල

ඇමරිකාවේ සියැටල් නගරයේ ස්පේස් නීඩල් (Space Needle) ආසන්නයේ පැවති ආහාර උත්සවයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි නගර ගිනි නිවීම් දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඉරිදා (ජූලි 26) පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. නගර මධ්‍යයේ වයඹ දෙසින් පිහිටි අදාළ ප්‍රදේශයෙන් ඉවත්ව සිටින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා ඇත.

සියැටල් සෙන්ටර් (Seattle Center) ප්‍රදේශයේ පැවති “Bite of Seattle” ආහාර උත්සවය අතරතුර පස්වරු 6ට පමණ වෙඩි හඬ ඇසී තිබේ.

හාබර්වීව් වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රකාශිකා සුසන් ග්‍රෙග් සඳහන් කළේ, කුඩා දරුවෙකු, අවුරුදු 23ක පිරිමියෙකු සහ වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු රෝහලට ඇතුළත් කළ බවයි. ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවද ඇය සඳහන් කළාය.

වෙඩි තැබීමෙන් පසු විශාල පොලිස් සහ හදිසි සේවා කණ්ඩායම් පිරිසක් එම ස්ථානයට පැමිණ ප්‍රදේශය හිස් කිරීමට කටයුතු කළහ.

උත්සවයට සහභාගී වූ එස්ටන් වකොනාබෝ පැවසුවේ, තම පෙම්වතිය සමඟ ඡායාරූප කුටියක් අසල පෝලිමේ සිටියදී පිටුපසින් තල්ලුවක් දැනුණු බවත්, පසුව විශාල පිරිසක් බියෙන් දිව යන අයුරු දුටු බවත්ය.

“මිනිසුන් සැඟවුණා, තල්ලු කළා, බිම වැටුණා, ළදරු කරත්ත පවා පෙරළුණා,” යනුවෙන් ඔහු පැවසූ අතර, එම අවස්ථාවේදී වෙඩි හඬ ඇසුණු බව සඳහන් කළේය.

“වෙඩි ශබ්ද කිහිපයක් ඇසුණු විට එය වෙඩි තැබීමක් බව මට තේරුණා,” යැයි ඔහු පැවසීය.

තම පෙම්වතිය ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගිය පසු නැවත සිද්ධිය වූ ස්ථානයට පැමිණි බවත්, එහිදී බිම වැටී සිටි තුවාලකරුවන් කිහිප දෙනෙකු දුටු බවත් වකොනාබෝ සඳහන් කළේය.

1982 වසරේ ආරම්භ වූ “Bite of Seattle” වාර්ෂික ආහාර උත්සවයට දින තුනක ආහාර, පානය සහ ප්‍රජා සැමරුම් සඳහා පුද්ගලයන් 350,000ක් පමණ සහභාගී වන බව එහි නිල වෙබ් අඩවිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *