බියර් නිෂ්පාදනයේ ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිත කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු අදාළ බලධාරීන් විසින් අනුමැතිය ලබාදීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සමට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා එය ඔක්තෝබර් 2 වන දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.
මෙම පෙත්සම විනිසුරු ආර්. ගුරුසිංහ සහ විනිසුරු ඒ. ප්‍රේම ශංකර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.
ප්‍රතිවාදී පාර්ශ්ව ලෙස නම් කර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම් කිහිපයක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.
ඒ අනුව, අදාළ විරෝධතා ගොනු කිරීමට ප්‍රතිවාදීන්ට අවසර ලබාදුන් අධිකරණය, පෙත්සම නැවත ඔක්තෝබර් 2 වන දින කැඳවන ලෙස නියෝග කළේය.
බලපත්‍රලාභී මත්පැන් අලෙවිකරුවන් පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර, එහි වගඋත්තරකරුවන් ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා, අදාළ නිලධාරීන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් නම් කර තිබේ.
පෙත්සම්කරුවන් පවසන්නේ සුරාබදු ආඥා පනතේ 2 වන වගන්තිය අනුව “බියර්” යනු මෝල්ට් මගින් නිෂ්පාදනය කරන පැසුණු මත්පැන් වර්ගයක් ලෙස අර්ථ දක්වා ඇති බවයි.
එහෙත්, බොහෝ නිෂ්පාදකයින් මේ වන විට බියර් නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිත කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බව ඔවුහු සඳහන් කරති.
එවැනි ක්‍රියා සුරාබදු ආඥා පනතේ විධිවිධානවලට පටහැනි බවද පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.
එමෙන්ම, සහල් නිෂ්පාදනය සඳහා රජය මහජන මුදල් මගින් විශාල සහනාධාර ලබාදෙන අවස්ථාවක, සහල් බියර් නිෂ්පාදනය වැනි වාණිජ කර්මාන්ත සඳහා යොදා ගැනීම ජාතික ආර්ථිකයට දැඩි අහිතකර බලපෑමක් ඇති කළ හැකි බවත්, සහල්වලින් ස්වයංපෝෂිත වීමේ රටේ උත්සාහයට බාධාවක් විය හැකි බවත් ඔවුහු තර්ක කරති.
ඒ අනුව, බියර් නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිත කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන්ට අනුමැතිය ලබාදීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.


