පුද්ගලික කටයුත්තකට නෙදර්ලන්තයෙන් දුන් රථය භාවිත කළ හිටපු ඇමැති ෆවුසි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්ත රජයෙන් ලබාදුන් වාහනයක් පෞද්ගලික කටයුතු සඳහා භාවිත කිරීමෙන් හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව රුපියල් මිලියන 6.6ක මුදලක් ඒකාබද්ධ අරමුදලට ගෙවන ලෙස අධිකරණය ෆවුසි මහතාට නියෝග කර ඇත.

එම මුදලින් රුපියල් 1,664,334.93ක මුදලක් මාසයක් ඇතුළත ගෙවිය යුතු අතර, ඉතිරි මුදල මාස දෙකක් ඇතුළත ගෙවිය යුතු බවද නියෝගයේ සඳහන් වේ.

මීට අමතරව, අදාළ වාහනයේ ඡායාරූපයක්ද සහිතව තම ක්‍රියාව සම්බන්ධයෙන් සමාව ඉල්ලා අර්ධ පිටු ප්‍රමාණයේ දැන්වීමක් මාසයක් ඇතුළත සිළුමිණ, සන්ඩේ ඔබ්සර්වර් සහ තිනකරන් පුවත්පත්වල මුල් පිටුවල පළ කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

මෙම තීන්දුව ලබාදී ඇත්තේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසිනි. විනිසුරු ජනක් ද සිල්වා මහතා සහ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා එහි සෙසු සාමාජිකයන් වූහ.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණේ ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍ර ජයරත්න මහතා විසිනි.

අදාළ පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගය මීට පෙර අවසන් කර තිබූ අතර, තීන්දුව පසුව ලබාදෙන බව අධිකරණය දැනුම් දී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *