ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සිර දඬුවම ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ලබාදී තිබූ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීමෙන් අනතුරුව, උන්වහන්සේට නියම කර තිබූ සිර දඬුවම ක්‍රියාත්මක කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ සඳහා නීතිපතිවරයා විසින් ගොනු කළ මෝසම  මයාදුන්නේ කොරයා සහ ලක්මාලි කරුණානායක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබීය.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි අධිකරණයේ පෙනී සිටියේ නොමැත.

උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා අධිකරණයට දැනුම් දුන්නේ ඥානසාර හිමි අසනීප තත්ත්වයක් හේතුවෙන් විවේක ගනිමින් සිටින බැවින් අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි.

නීතිපතිවරයා විසින් ගොනු කර ඇති මෝසම අධ්‍යයනය කර කරුණු ඉදිරිපත් කිරීම සඳහා තවත් කාලයක් ලබාදෙන ලෙසද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ මෙය අපරාධ නඩුවක් බැවින්, චූදිතයා අධිකරණය හමුවේ පෙනී නොසිටින්නේ නම් අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙසය.

ඥානසාර හිමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෝසම අධ්‍යයනය කර කරුණු ඉදිරිපත් කිරීමට කාලය ඉල්ලා සිටීමෙන් අනතුරුව, අධිකරණය නඩු කටයුතු කෙටි වේලාවකට කල් තැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *