යාපනය, නල්ලූර්හි තිලීපන් අනුස්මරණ චතුරස්රයේ ස්ථාපිත කර තිබූ හිටපු එල්ටීටීඊ සාමාජික රාසයියා පාර්තිපන් හෙවත් තිලීපන්ගේ පිළිරුව පොලිසිය විසින් ඉවත් කර ඇත්තේ අදාළ කරුණු ප්‍රදේශයේ අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව බව රජයේ ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පොලිසිය විසින් අදාළ කරුණු අධිකරණයට වාර්තා කර ඇති අතර, පිළිරුව සම්බන්ධයෙන් නඩු කටයුත්තක් මේ වන විට අධිකරණයේ විභාග වෙමින් පවතින බවයි.
තිලීපන්ගේ මරණ සංවත්සරය සැමරීම සඳහා වසර ගණනාවක් පුරා සැප්තැම්බර් මාසයේදී උතුරු ප්‍රදේශයේ ඔහුගේ ඡායාරූපය භාවිත කරමින් සැමරුම් පැවැත්වූ නමුත්, පිළිරුවක් ස්ථාපිත කර තිබුණේ මෙම වසරේ පළමු වරට බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
“මෙම වසරේ පිළිරුවක් ස්ථාපිත කර තිබුණා. එය පොලිසිය විසින් ඉවත් කළා. එල්ටීටීඊ සංවිධානය තහනම් සංවිධානයක්. අපේ රටේ නීතිය මගින් තහනම් සංවිධානයක් ප්‍රවර්ධනය කිරීමට ඉඩ දෙන්නේ නැහැ. එහි ධජ, ලාංඡන ආදිය ප්‍රවර්ධනය කිරීමත් ඊට ඇතුළත්. එවැනි ක්‍රියා සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නවා,” යනුවෙන් ඔහු පැවසීය.
පිළිරුව ඉවත් කිරීමට පෙර පොලිසිය විසින් අදාළ කරුණු අධිකරණයට ඉදිරිපත් කර තිබූ බවත්, ඒ සම්බන්ධ නඩුව මේ වන විට අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
රට තුළ ජාතිවාදී ආතතීන් ඇති කිරීමට විවිධ අවස්ථාවල උත්සාහයන් සිදුව ඇති බවද අමාත්‍ය ජයතිස්ස මහතා පැවසීය. එවැනි ක්‍රියා රජය නොඉවසන බවත්, ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සැප්තැම්බර් 27 වැනිදා නල්ලූර්හි තිලීපන් අනුස්මරණ චතුරස්රයේ පිළිරුව පොලිසිය විසින් ඉවත් කිරීම සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමිනි.
තිලීපන්ගේ 39 වැනි මරණ සංවත්සරය සැමරීමේ වැඩසටහන් සැප්තැම්බර් 26 වැනිදා එම ස්ථානයේදී අවසන් වූ අතර, ඊට පසු දින අලුයම පොලිසිය විසින් පිළිරුව ඉවත් කර තිබිණි.
1987 සැප්තැම්බර් මාසයේදී නල්ලූර්හිදී ඉන්දීය රජයට ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමින් උපවාසයක නිරත වූ තිලීපන් එම උපවාසයෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්විය.


