කෝටි 60ක තැපැල් සංරක්ෂණය: නුවරඑළියට අලුත් පරිපාලන ගොඩනැගිල්ලක්

ඓතිහාසික නුවරඑළිය තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම යනු හුදෙක් පැරණි ගොඩනැගිල්ලක් අලුත්වැඩියා කිරීමක් පමණක් නොව, මෙරට ජාතික උරුමයන් සුරකිමින් සංචාරක කර්මාන්තයට නව පණක් එක්කරන ජාතික වැදගත්කමකින් යුත් කාර්යයක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.
නුවරඑළිය තැපැල් කාර්යාල පරිශ්‍රයේ රුපියල් මිලියන 78.34ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදිකිරීමට නියමිත නව දෙමහල් තැපැල් පරිපාලන ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මුල්ගල තැබීමෙන් පසු අමාත්‍යවරයා බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ එංගලන්ත ටියුඩර් (Tudor) ගෘහ නිර්මාණ ශිල්පයට අනුව රතු ගඩොලින් නිමවා ඇති මෙම ඓතිහාසික තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ සංරක්ෂණ සහ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීමටද එක්විය.
නාවික හමුදා ශ්‍රමයෙන් සංචාරක මධ්‍යස්ථානයක්
ගොඩනැගිලි දෙපාර්තමේන්තුව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම සංරක්ෂණ කටයුතු සිදුකෙරේ. මෙම කටයුතු අවසන් වීමෙන් පසු, දේශීය හා විදේශීය සංචාරක ආකර්ෂණ ස්ථාන පිළිබඳ තොරතුරු සහ මඟපෙන්වීම් ලබාදෙන ප්රමුඛ පෙළේ සංචාරක ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් (Tourist Promotion Center) ලෙස මෙම ඓතිහාසික ගොඩනැගිල්ල සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.
අලුතින් ඉදිකෙරෙන දෙමහල් පරිපාලන ගොඩනැගිල්ල තුළ නුවරඑළිය ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලය සහ තැපැල් මෙහෙයුම් අංශය ස්ථාපිත කෙරෙනු ඇත.
තැපැල් කාර්යාල 88ක් සංවර්ධනයට කෝටි 60ක්
මීට අමතරව, 2026 වසර වෙනුවෙන් නුවරඑළිය තැපැල් කාර්යාලය ඇතුළුව දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල 88ක අලුත්වැඩියා සහ සංරක්ෂණ කටයුතු සඳහා රජය රුපියල් මිලියන 600ක (රුපියල් කෝටි 60ක) දැවැන්ත මුදලක් වෙන්කර ඇති බවද මෙහිදී අනාවරණය විය.
මෙම අවස්ථාවට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන්, තැපැල්පති රුවන් සත්කුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගී වූහ.




