කථානායකට එරෙහිව සෙංකෝල සටනක්

කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට විරෝධය පළකරමින්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී නිල සෙංකෝලය උදුරා ගැනීමට උත්සාහ කිරීමත් සමඟ ඊයේ (03) සභාව තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය.
කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඇතුළු වරප්‍රසාද ගැටලු කිහිපයක් විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් සභාව හමුවේ මතුකිරීමට උත්සාහ කිරීමත් සමඟ මෙම උණුසුම් වාතාවරණය ආරම්භ විය.
අදාළ වරප්‍රසාද ගැටලුවලට අදාළ ලියකියවිලි තමන් වෙත ලැබුණේ පෙරවරු 9.00න් පසුව බවත්, ඒවා මෙතෙක් පරික්ෂා කර නොමැති බැවින් පසුව ඒ පිළිබඳව පිළිතුරක් ලබාදෙන බවත් නියෝජ්‍ය කථානායක රිස්වි සාලිහ් මහතා සභාවට දැනුම් දුන්නේය.
කෙසේවෙතත්, විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය පිළිබඳව වහාම පැහැදිලි කිරීමක් ඉල්ලා සිටි විපක්ෂ මන්ත්‍රීවරු දිගින් දිගටම සිය විරෝධතාව සභා ගර්භය මැදට පැමිණ ප්‍රදර්ශනය කළහ.
“විපක්ෂයේ වරප්‍රසාද කඩවෙලා” – සජිත්
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, කථානායකවරයාට එරෙහිව චෝදනා 50ක් ඇතුළත් කර විපක්ෂ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුතුව පසුගිය ඔක්තෝබර් 09 වැනිදා භාරදුන් විශ්වාසභංග යෝජනාව ඔක්තෝබර් 12 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයටද ඇතුළත් කර තිබූ බවයි.
එසේ තිබියදී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මඟින් අදාළ යෝජනාව අත්තනෝමතික ලෙස ප්‍රතික්ෂේප කිරීම විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් මෙන්ම ප්රජාතන්ත්රවාදී සම්ප්‍රදායන් කෙලෙසීමක් බවද ඔහු චෝදනා කළේය.
මෙම දැඩි විරෝධතා සහ සෙංකෝලය උදුරාගැනීමට දැරූ උත්සාහය හමුවේ සභාවේ ඇතිවූ දැඩි නොසන්සුන්තාව මධ්‍යයේ වුවද, පාර්ලිමේන්තුවේ දෛනික කටයුතු පසුව සාමාන්‍ය පරිදි ඉදිරියට පවත්වාගෙන යාමට පියවර ගැනිණි.




