තේ සහ පොල් අපනයනකරුවන්ට ඩිජිටල් යුගයේ අලුත් පහසුකමක්

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් නිර්මාණය කරන ලද ‘වෙළෙඳාම සඳහා වූ ජාතික තනි කවුළු’ (National Single Window for Trade) ඩිජිටල් පද්ධතිය ඊයේ (05) නිල වශයෙන් දියත් කෙරිණි.
මෙම ජාතික වැඩසටහනේ පළමු අදියර යටතේ අපනයනකරුවන් ක්ෂේත්‍ර මට්ටමින් පද්ධතිය වෙත බද්ධ කරගැනීම ආරම්භ කර ඇති අතර, ඒ සඳහා මුලින්ම තෝරාගෙන ඇත්තේ මෙරට ප්‍රධාන වැවිලි බෝග වන තේ සහ පොල් අපනයන ක්ෂේත්රයන්ය.
පද්ධතිය නිල වශයෙන් සජීවීව ක්‍රියාත්මක කිරීමේ (Go-live session) සමාරම්භක අවස්ථාවේදී, තෝරාගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ආයතන විසින් නව ජාතික තනි කවුළු පද්ධතිය ඔස්සේ සිය ප්‍රථම රේගු ප්රකාශනය (Customs Declaration – CusDec) සාර්ථකව සම්පාදනය කර ඉදිරිපත් කිරීමට සමත් විය.
සෙසු ක්ෂේත්රවලටත් කඩිනමින් විවෘත කෙරේ
ආරම්භක අදියරේ ප්‍රතිඵල සහ තාක්ෂණික නිරීක්ෂණයන් මත පදනම්ව අවශ්‍ය වැඩිදියුණු කිරීම් සිදුකිරීමෙන් අනතුරුව, නුදුරේදීම අනෙකුත් සියලුම වාණිජ හා ව්‍යාපාරික ක්ෂේත්රයන් සඳහාද මෙම ඩිජිටල් වේදිකාව විවෘත කිරීමට මුදල් අමාත්‍යාංශය අපේක්ෂා කරයි.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් පී.ආර්. චතුරංග මධුෂාන් මහතා සඳහන් කළේ, පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්, වාණිජ මණ්ඩල නියෝජිතයින්, අදාළ රාජ්‍ය ආයතන මෙන්ම ‘GovTech’ සහ ලංකා මෘදුකාංග පදනම (Lanka Software Foundation) එක්ව ලබාදුන් තාක්ෂණික සහයෝගය මෙම ඓතිහාසික ඩිජිටල් මුලපිරීම සාක්ෂාත් කරගැනීමට මහඟු පිටුවහලක් වූ බවයි.




