පක්ෂ විනය උගන්වන්න චීන නියෝජිතයෝ ජවිපෙ මූලස්ථානයට

දේශපාලන පක්ෂ සංවිධාන ව්‍යුහය සහ අභ්‍යන්තර විනය පවත්වා ගැනීම පිළිබඳ සිය අත්දැකීම් ජනතා විමුක්ති පෙරමුණේ (JVP) සාමාජිකයින් සමඟ බෙදාහදා ගැනීම සඳහා, චීන කොමියුනිස්ට් පක්ෂයේ (CCP) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් නුදුරේදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී හුවාෂියෑං (Wei Huaxiang) මහතා අතර පසුගිය බ්‍රහස්පතින්දා (05) පැළවත්තේ පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම සංචාරය පිළිබඳව අවධානය යොමු විය.
ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ, පසුගිය ඔක්තෝබර් 29 වැනිදා චීනයේදී පැවැති චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසිවාරයේදී (5th Plenary Session) ගන්නා ලද ප්‍රධාන තීරණ පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බවයි.
පක්ෂ අභ්‍යන්තරයේ දැඩි විනයක් පවත්වා ගැනීම සහ සංවිධාන ශක්තිය ගොඩනැගීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය අනුගමනය කරන ක්‍රමවේදයන් පිළිබඳව තානාපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කළ අතර, එම ප්‍රතිපත්ති පිළිබඳව වැඩිදුර පැහැදිලි කරමින් සිය අත්දැකීම් ජවිපෙ සාමාජිකයින් සමඟ බෙදාගැනීම සඳහා චීන පක්ෂ දූත පිරිසක් මෙරට සංචාරයක නිරත වන බව හෙතෙම පැවසීය.
දෙරටේ ආයෝජන සහ ද්විපාර්ශ්වික සබඳතා
මීට අමතරව ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම මෙන්ම ආයෝජන, තාක්ෂණය, ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ සංස්කෘතික ක්ෂේත්රයන්හි සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳවද දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. එම ක්ෂේත්රයන් ඔස්සේ ශ්‍රී ලංකාවට අඛණ්ඩව පූර්ණ සහයෝගය ලබාදීමට චීනය කැපවී සිටින බව තානාපතිවරයා මෙහිදී යළි තහවුරු කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථික හා තාක්ෂණික සංවර්ධනය වෙනුවෙන් චීනය ලබාදෙන සහයෝගය අගය කළ ටිල්වින් සිල්වා මහතා, ජනතා විමුක්ති පෙරමුණ සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතර පවතින ඓතිහාසික මිත්‍රත්වයද මෙහිදී සිහිපත් කළේය.
මෙම හමුව සඳහා චීන තානාපති කාර්යාලයේ උපදේශක මේ ජිං, දේශපාලන අංශ ප්‍රධානී චින් ලිගොං, දෙවැනි ලේකම් ජින් එන්සේ සහ නිලධාරිනි ලි ජියානි යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.




