ඇල්පිටියට යළිත් පුංචි ඡන්දයක්

ඇල්පිටිය ප්රාදේශීය සභාව සඳහා වහාම ඡන්දයක් පවත්වන ලෙස ශ්රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
පසුගිය පළාත් සහ පාලන ඡන්ද විමසීමේ දී එම ප්රාදේශීය සභාව සඳහා ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්රයක් ප්රතික්ෂේප කිරීමට එරෙහිව එම පක්ෂය විසින් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව දෙමින් ත්රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් මෙම නියෝගය නිකුත් කළේය.
එමෙන් ම ප්රතික්ෂේප කළ ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාමයෝජනා පත්රය භාර ගන්නා ලෙස ද ශ්රේෂ්ඨාධිකරණය විසින් අදාල ප්රාදේශීය සභාව භාර තේරීම්භාර නිලධාරීයාට නියම කර තිබේ.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්රාදේශීය සභාවට තමන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්රය ප්රතික්ෂේප කිරීම නීති විරෝධී යැයි සඳහන් කරමින් ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් එම වකවානුවේ අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
එම පෙත්සම පිළිබඳව විභාගයක් පැවැත්වීමට තීන්දු කළ ශ්රේෂ්ඨාධිකරණය එම විභාගය අවසන් වන තුරු ඇල්පිටිය ප්රාදේශීය සභාව සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීම වළක්වාලමින් තහනම් නියෝගයක් ද මීට පෙර නිකුත් කර තිබුණි.
(උපුටා ගැනීම – අද දෙරණ)
