Friday, 6 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

දේශපාලනයයි පොලිසියයි කුඩු සල්ලිවලට යටවෙලා: ජනපති අනුර කුමාර

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ශ්‍රී ලංකාව තුළ නීත්‍යානුකූල රාජ්‍ය යාන්ත්‍රණයට සමාන්තරව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක පාතාල කල්ලි විසින් සිය දැවැන්ත කළු සල්ලි බලය යොදාගනිමින් මෙහෙයවනු ලබන බලගතු ‘සෙවනැලි රජයක්’ (Shadow State) නිර්මාණය වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බරපතළ අනතුරු ඇඟවීමක් කරමින් හෙළි කළේය.

මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික මෙහෙයුමේ පළමු සංවත්සරය නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ පැවති ආගමික නායක හමුව අමතමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, මෙම පාතාල ජාලය දේශපාලනඥයන්, පොලිස් නිලධාරීන්, රේගුව ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන සිය ග්‍රහණයට ගනිමින් රටේ අනාගතය අතිශය මාරාන්තික අනතුරක හෙළා ඇති බවයි.

ජනාධිපතිවරයාගේ විශේෂ දේශනයේ ඇතුළත් ප්‍රධාන කරුණු 11 මෙසේය:

1. ලංකාව තුළ ක්‍රියාත්මක ‘සෙවනැලි රජය’

රේගුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට අල්ලස් දෙමින්, දේශපාලන ව්‍යාපාරවලට මුදල් යොදවමින් සහ පළාත් පාලන ආයතනවල බලය පවා අත්පත් කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සමාන්තර රාජ්‍යයක් පවත්වාගෙන යන බව ජනාධිපතිවරයා හෙළි කළේය. මෙම අපරාධ ජාලය සහමුලින්ම බිඳ නොදැමුවහොත් මෙරට මතු පරපුරට අනාගතයක් නොමැති බව ඔහු අනතුරු ඇඟවීය.

2. රුපියල් බිලියන 224ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

පසුගිය වසර තුළ පමණක් රුපියල් බිලියන 218ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති අතර, ගංජාද ඇතුළත්ව එහි සමස්ත වටිනාකම රුපියල් බිලියන 224ක් (රුපියල් කෝටි 22,400ක්) ඉක්මවයි. ඊට අයිස් කිලෝ 6,528ක්, හෙරොයින් කිලෝ 4,000ක්, හෂීස් කිලෝ 1,841ක්, කොකේන් කිලෝ 314ක්, වෙනත් මත්ද්‍රව්‍ය කිලෝ 2,598ක් සහ මත්පෙති ලක්ෂ 45ක් ඇතුළත් වේ.

3. රඳවාගැනීමේ කාලය පැය 72 සිට 48 දක්වා බස්සයි

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්ව ඇති යෝජිත ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ සංශෝධන 3කට යටත් කිරීමට රජය සූදානම් බව ජනාධිපතිවරයා කීවේය. ඒ අනුව සැකකරුවන් රඳවා තබාගැනීමේ කාලය පැය 72 සිට 48 දක්වා අඩුකිරීමටත්, පච්ච (Tattoos) මඟින් සාමාජිකයින් හඳුනාගැනීමේ වගන්තිය සහ සුරාබදු ආඥාපනතේ වැරදි පනතින් ඉවත් කිරීමටත් රජය එකඟ වී ඇත.

4. “කිසිවෙක් සදාකාලිකව බලයේ ඉන්නේ නෑ”

පනතට එල්ල වන විවේචනවලට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ තමන්ට හෝ තම රජයට අසීමිත මර්දන බලතල අවශ්‍ය නොවන බවයි. දේශපාලනඥයින් බලය ක්‍රියාත්මක කළ යුත්තේ යම් දිනක බලය අත්හැරීමට සිදුවන බව සිහියේ තබාගෙන බවත්, තමන් බලයේ නැති දිනක මෙම නීති ක්‍රියාත්මක වන ආකාරය ගැන පාලකයන් කල්පනා කළ යුතු බවත් ඔහු පැවසීය.

5. විදෙස්ගත පාතාලයන් 67ක් ලංකාවට රැගෙන එයි

පසුගිය වසර තුළ විදේශයන්හි සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් 67 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට හැකිවූ බවත්, තවත් 112 දෙනෙකුට එරෙහිව රතු නිවේදන (Red Notices) නිකුත් කර ඇති බවත් හෙළිවිය. පිටරටවල සැඟවී සිටියද නීතියෙන් බේරී සිටීමට කිසිවෙකුට ඉඩ නොතබන බවට ජනාධිපතිවරයා අනතුරු ඇඟවීය.

6. කෝටි 450ක අපරාධ වත්කම් තහනම්

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් බිලියන 4.5ක (කෝටි 450ක) වත්කම් සහ දේපළ අත්හිටුවීමට (Freeze කිරීමට) පියවර ගෙන ඇත. 2025 දී හඳුන්වා දුන් නීතිවිරෝධී වත්කම් අයකර ගැනීමේ නව පනත හරහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මූල්‍ය පදනම විනාශ කිරීමට හැකිවූ බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

7. පාතාලයෙන් අල්ලපු ගිනිඅවි සහ හමුදා තොග

පාතාල කල්ලි සතුව තිබී T-56 ගිනිඅවි 97ක්, පිස්තෝල 143ක්, AK-47 තුවක්කු සහ රිවෝල්වර 105ක් අත්අඩංගුවට ගෙන තිබේ. විගණන වාර්තාවලට අනුව මීට පෙර හමුදා සහ පොලිස් තොගවලින් අවි ආයුධ පාතාලය අතට පත්ව ඇති බවට හෙළිවී ඇති අතර, ඇතැම් පොලිස් නිලධාරීන් ආයුධ අලෙවි කිරීමේ සිදුවීම්ද වාර්තා වී ඇත.

8. මත් උවදුර ආගමික සිද්ධස්ථානවලටත් ඇවිත්

මත්ද්‍රව්‍ය උවදුර පොලිසිය, ත්‍රිවිධ හමුදාව පමණක් නොව ගෞරවාදරයට පාත්‍ර වූ ආගමික සිද්ධස්ථාන දක්වාම විනිවිද ගොස් ඇති බව ජනාධිපතිවරයා අනාවරණය කළේය. සමාජ ආකල්ප වෙනස් කරමින් පවුල් මට්ටමින් දරුවන් බේරාගැනීම සඳහා සියලු ආගමික නායකයින් පෙරමුණ ගත යුතු බවට ඒ මහතා ඉල්ලා සිටියේය.

9. අයිස්වලට අසුවූ ළමුන්ගේ බිහිසුණු වැඩිවීමක්

2022 වසරේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්ව තිබුණේ වයස 18ට අඩු එක් අයෙකු පමණක් වුවද, 2025 වන විට එම සංඛ්‍යාව 1,874 දක්වා බිහිසුණු ලෙස ඉහළ ගොස් ඇත. දරුවන් මත් උවදුරෙන් ගලවා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හරහා දෙමව්පියන් දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් කඩිනමින් අරඹන බව ජනාධිපතිවරයා පැවසීය.

10. නීතියෙන් පිට ඝාතන හෝ දඬුවම් නෑ

නීති රාමුවෙන් පිටත කිසිදු සැකකරුවෙකුට දඬුවම් කිරීමේ ප්‍රතිපත්තියක් තම රජය අනුගමනය නොකරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. අධිකරණ ප්‍රමාදයන් වැළැක්වීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගොඩගැසී තිබූ වාර්තා 36,000ක ප්‍රමාදය කඩිනම් කිරීමට අමතර පහසුකම් ලබාදී ඇති බවත්, පුනරුත්ථාපන මධ්‍යස්ථාන තවදුරටත් ශක්තිමත් කරන බවත් ඔහු කීවේය.

11. PTA බලතල කපා අපරාධ මර්දන නීති ශක්තිමත් කෙරේ

කුප්‍රකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) බලතල සැලකිය යුතු ලෙස කපාහැරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් නොවීම නිසා අතීතයේදී පාතාල අපරාධකරුවන්ට එරෙහිව PTA භාවිත කළද, ඉදිරියේදී සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කරමින් සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහාම වෙන්වූ විධිමත් නීති ගෙන එන බව හෙතෙම පැවසීය.

පාතාලයට සහ මත්ද්‍රව්‍යවලට පක්ෂ පාර්ශ්වය සහ ඊට එරෙහි පාර්ශ්වය ලෙස අද රට බෙදී ඇති බව පැවසූ ජනාධිපතිවරයා, සියලු දේශපාලන භේද පසෙකලා “රටම එකට” ජාතික මෙහෙයුම සමඟ අත්වැල් බැඳගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මෙහිදී මෙම ජාතික මෙහෙයුමේ නිල වෙබ් අඩවිය වන www.1818.gov.lk ද ජනාධිපතිවරයා අතින් නිල වශයෙන් එළිදැක්විණි.

ඔබේ අදහස