PTA වෙනුවට නව නීති රාමුවක්: “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත” ගැසට් කෙරේ

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත හෙවත් PTA අහෝසි කර ඒ වෙනුවට නව නීති රාමුවක් හඳුන්වාදීමට යෝජිත “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත” රජය විසින් ගැසට් කර තිබේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි ප්‍රකාශයට පත් කර ඇති මෙම පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාව තුළ මෙන්ම රටින් පිටත සිදුවන ත්‍රස්තවාදී ක්‍රියා සහ ඒ ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව සහ ජනතාව ආරක්ෂා කිරීම සඳහා නව නීතිමය රාමුවක් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත.

එමෙන්ම, ශ්‍රී ලංකා භූමිය හෝ ශ්‍රී ලාංකිකයන් වෙනත් රටවල ත්‍රස්තවාදී ක්‍රියා සැලසුම් කිරීම, සූදානම් කිරීම හෝ ඒ සඳහා පහසුකම් සැලසීම සඳහා යොදා ගැනීම වැළැක්වීම ද පනත් කෙටුම්පතේ අරමුණකි.

ත්‍රස්තවාදී වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනාගැනීම, අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම සහ විමර්ශනය කිරීම සඳහා අදාළ නීතිමය ක්‍රියා පටිපාටි ද මෙහි ඇතුළත් වේ. එමෙන්ම ත්‍රස්තවාදී වැරදි සඳහා වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම සහ දඬුවම් ලබාදීම සම්බන්ධ විධිවිධාන ද යෝජනා කර තිබේ.

පනත් කෙටුම්පතේ ඇතැම් විධිවිධාන මගින් සාමකාමී විරෝධතා, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග, අදහස් ප්‍රකාශ කිරීම, මාධ්‍ය කටයුතු, අධ්‍යයන හා පර්යේෂණ කටයුතු වැනි ක්‍රියා තනිවම ත්‍රස්තවාදී වරදක් ලෙස සැලකීම වැළැක්වීමට ද ප්‍රතිපාදන ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

යෝජිත නීතිය සම්මත වුවහොත්, PTA වෙනුවට ත්‍රස්තවාදී වැරදි, විමර්ශන, රඳවා තබා ගැනීම, අධිකරණ අධීක්ෂණය සහ සැකකරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව නීතිමය රාමුවක් ස්ථාපිත වනු ඇත.

කෙසේ වෙතත්, මෙම පනත් කෙටුම්පත මේ වන විට නීතියක් බවට පත්ව නොමැති අතර, ඉදිරියේදී පාර්ලිමේන්තු ක්‍රියාවලියට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව පමණක් නීතියක් බවට පත්වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *