බාල ගල් අඟුරු පාඩුවේ කෝටි 220ක හිඩැසක්: චම්පිකගෙන් හෙළිදරව්වක්

ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු ආනයනය කිරීම හේතුවෙන් රජයට සිදුවූ සමස්ත මූල්‍ය පාඩුව ගණනය කිරීමේදී බරපතළ දෝෂයක් පවතින බවත්, ගල් අඟුරු විදුලි හිඟය පියවා ගැනීමට භාවිත කළ ජල විදුලියේ ආවස්ථික පිරිවැය (Opportunity Cost) ඊට ඇතුළත් කර නොමැති බවත් හිටපු බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) හමුවේ කරුණු දක්වමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ, ‘ට්‍රයිඩන්ට්’ (Trident) සමාගම හරහා ගෙන්වන ලද මූලික ගල් අඟුරු නෞකා 19 සහ 2025–2026 කාලසීමාව තුළ මෙරටට ලැබුණු තවත් නෞකා පහක ගල් අඟුරුවලින් සිදුවූ පාඩුව ගණනය කිරීමේදී මෙම විශාල අතපසුවීම සිදුව ඇති බවයි.
ඔහු ඉදිරිපත් කළ දත්තවලට අනුව, බාල ගල් අඟුරු හේතුවෙන් අමතරව ගල් අඟුරු දහනය කිරීමට සිදුවීම නිසා රුපියල් බිලියන 7.099ක්ද, අළු බැහැර කිරීම ඇතුළු නඩත්තු වියදම් සඳහා රුපියල් මිලියන 93ක්ද වැයවී ඇත. මීට අමතරව ගල් අඟුරු ජනන ඌනතාව පියවීම සඳහා විදුලිය මිලදී ගැනීමට තවත් රුපියල් බිලියන 8.572ක් වැයකර තිබේ.
ජල විදුලිය වෙනුවෙන් “ශුන්‍ය පිරිවැයක්” යෙදීම බරපතළ වරදක්
ගල් අඟුරු බලාගාරයේ අක්රියතා නිසා අහිමි වූ මෙගාවොට් පැය 197,673ක සමස්ත විදුලි ධාරිතාවෙන්, ජල විදුලිය මඟින් පියවා ගත් මෙගාවොට් පැය 35,209ක ධාරිතාව වෙනුවෙන් කිසිදු පිරිවැයක් අය නොකර එය “ශුන්‍ය පිරිවැයක්” (Zero cost) ලෙස ගණනය කර ඇති බව රණවක මහතා පෙන්වා දුන්නේය.
“මෙය ගණනය කිරීමේදී සිදුවූ අතිශය බරපතළ දෝෂයක්. එම කාලසීමාවේදී අමතරව වැය කළ ජල විදුලියේ වටිනාකමද අනිවාර්යයෙන්ම ගල් අඟුරු පාඩුවට ඇතුළත් විය යුතුයි,” යනුවෙන් ඔහු අවධාරණය කළේය.
එම කාලයේදී ජලාශ වාන් දමමින් පැවති බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ ඔහු, ජලාශ උපරිම ධාරිතාවට ළඟා වී නොතිබූ බවත්, මහවැලි සහ කැළණි ජලාශ පද්ධති එකිනෙකට සම්බන්ධිත පද්ධති (Cascade systems) ලෙස ක්‍රියාත්මක වන බැවින් එක් ජලාශයක් පිරුණද අනෙක් ජලාශ හරහා විදුලිය උත්පාදනය කළ හැකි බවත් පැහැදිලි කළේය.
කෝටි 220ක ආවස්ථික පිරිවැය
ගල් අඟුරු අඩුව පියවීමට වැය කළ එම ජල ධාරිතාව අනාගත ප්‍රයෝජනය සඳහා ඉතිරි කරගත්තේ නම්, ඩීසල් හෝ දැවිතෙල් වැනි අධික වියදම් සහිත තාප බලාගාර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවම කරගත හැකිව තිබූ බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව, ගල් අඟුරු හිඟය පියවීමට යෙදවූ ජල විදුලියේ ආවස්ථික පිරිවැය පමණක් ආසන්න වශයෙන් රුපියල් බිලියන 2.2ක් (රුපියල් කෝටි 220ක්) වන බවත්, එම මුදලද එකතු කර බාල ගල් අඟුරුවලින් සිදුවූ සැබෑ පාඩුව නිවැරදිව ගණනය කරන ලෙසත් පාඨලී චම්පික රණවක මහතා මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා සිටියේය.




