හෝටල්වල නරක් වූ කෑම ගැන පැමිණිලි කරන්න QR ක්‍රමයක්

කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ පිහිටි ආපනශාලා සහ හෝටල්වල පවතින සෞඛ්යාරක්ෂිත නොවන තත්ත්වයන් සහ අහිතකර ආහාර පිළිබඳව ක්ෂණිකව සෞඛ්‍ය බලධාරීන් වෙත සෘජුවම පැමිණිලි කළ හැකි නවීන ‘QR කේත’ (QR Code) පාදක කරගත් පැමිණිලි කළමනාකරණ පද්ධතියක් කොළඹ මහ නගර සභාව (CMC) විසින් හඳුන්වා දී තිබේ.
කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලි බැල්තසාර් (Vraîe Cally Balthazaar) මෙනෙවිය නිවේදනය කළේ, නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් මෙම නව වැඩසටහන ආරම්භ කර ඇති අතර, එහි නියමු ව්‍යාපෘතිය වැල්ලවත්ත ප්‍රදේශයේ සිට මැජෙස්ටික් සිටි (Majestic City) ආහාර අංගනය දක්වා වූ කලාපය තුළ මුලින්ම ක්‍රියාත්මක කරන බවයි.
මෙම ක්‍රමවේදය යටතේ පාරිභෝගිකයින්ට අදාළ ආපනශාලාවල ප්‍රදර්ශනය කර ඇති QR කේතය ස්කෑන් කර, කෙටි මාර්ගගත පෝරමයක් පිරවීමෙන් සිය පැමිණිල්ල කඩිනමින් යොමුකළ හැකිය. එම පැමිණිලි කඩිනම් පරීක්ෂණ සහ නීතිමය පියවර ගැනීම සඳහා අදාළ ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් (MOH) සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) වෙත සෘජුවම යොමුකෙරේ.
අනන්‍යතාව හෙළි නොකර පැමිණිලි කිරීමේ පහසුකම
පැමිණිලිකරුගේ පුද්ගලිකත්වයට හා ආරක්ෂාවට මුල්තැන දෙමින්, තමන්ගේ නම ගම හෙළි නොකර (Anonymously) රහසිගතව පැමිණිලි ඉදිරිපත් කිරීමටද මෙම පද්ධතිය හරහා අවස්ථාව සලසා ඇති බව නගරාධිපතිනිය පෙන්වා දෙයි.
යම් ආහාරයක් පිළිබඳව ගැටලුවක් මතුවූ විට, එම ආහාරය හෝටලයට ආපසු භාර නොදී, අදාළ ආහාර සාම්පලය සහ මිලදී ගත් රිසිට්පත තමන් භාරයේ සුරක්ෂිතව තබාගන්නා ලෙස පාරිභෝගිකයින්ට උපදෙස් දෙනු ලැබේ. මන්දයත්, ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සහ රසායනාගාර පරීක්ෂණවලදී ඒවා අත්‍යවශ්‍ය නඩු සාක්ෂි ලෙස භාවිත කිරීමට සිදුවන බැවිනි.
මීට අමතරව 011 267 6161 දුරකථන අංකය ඔස්සේ හෝ cmchealthcomplaints@gmail.com විද්‍යුත් තැපෑල මඟින්ද කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අමතා පැමිණිලි කළ හැකිය.
කොළඹ 01 සිට 15 දක්වා වූ සමස්ත නගර සභා බලප්‍රදේශය පුරාම මෙම වැඩපිළිවෙළ කඩිනමින් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ ඔස්සේ නගරයේ ආහාර සුරක්ෂිතතා ප්රමිතීන් ඉහළ නැංවීමටත්, මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමටත් මහජනතාවට සෘජුවම දායක විය හැකි බව නගරාධිපතිනී ව්‍රායි කැලි බැල්තසාර් මෙනෙවිය වැඩිදුරටත් අවධාරණය කළාය.





