වෛද්‍යවරු

සෞඛ්‍ය සේවය පුද්ගලීකරණයට…

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය්ක මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදුව හා නිදහස් සෞඛ්‍ය පෞද්ගලීකරණයට එරෙහි මැයි මස 25 වෙනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය.

ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සහ සෞඛ්‍ය සේවාවන් ලබාගැනීම සඳහා ඇති අයිතිය තහවුරු කිරීම ඕනෑම රජයකට කිසිසේත්ම මගහැර යා නොහැකි වගකීමකි.

ඉතිහාසය පුරාම ඕනෑම අර්බුදකාරී අවස්ථාවකදී හෝ ජාතික ආපදාවකදී අසීමාන්තික කැපකිරීම් සිදුකරමින් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය රැකගැනීමේ අරමුණින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සමානාත්මතාවයෙන් යුතුව සැපයීම සඳහා ශ්‍රී ලාංකීය සෞඛ්‍ය කාර්යය මණ්ඩලය අනුපමේය මෙහෙයක් සිදුකර ඇත. පසුගිය කොවිඩ් වසංගතයේදී මෙන්ම මේ වන විට රට තුළ උද්ගත වී ඇති ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හමුවේ වුවද සෞඛ්‍ය කාර්යය මණ්ඩලය තමන්ගේ වගකීම අකුරටම ඉටු කරමින් සිටියි.

එහෙත් ඖෂධ හිඟයට විසඳුම් ලබාදීම මඟහරිමින්, සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රතිපාදන කපාහරිමින් සහ සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වැටුප් අසාධාරණ ලෙස කප්පාදු කරමින් සෞඛ්‍ය සේවකයින් අධෛර්යමත් කර සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ පසුබිමක් වත්මන් පාලකයන් විසින් නිර්මාණය කරමින් සිටියි. එසේ නිදහස් සෞඛ්‍ය සේවාව බිඳවැටීමත්, ජාතික සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි ජනතාවගේ විශ්වාසය බිඳ වැටීමත් තුළ ආර්ථික ගැටලුවට මුවා වී නිදහස් සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරමින් සිටින බව අපගේ නිරීක්ෂණයයි.

උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියලුම ශාඛා සමිති නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද දිනයේ දී පැවැත්විණි.

එහිදි, ලෝකය පුරා ඉහළ කීර්තිනාමයක් හිමි කරගත් මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කිරීම සඳහා ගනු ලබන ඕනෑම පියවරකට විරුද්ධව සියළුම පාර්ශව සමඟ එක්ව කොන්දේසි විරහිතව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඒකමතිකව තීරණය කරන ලදී.

තවද, යම්හෙයකින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වැටුප් කප්පාදුවක් සිදුකලහොත්, මැයි 25 දිනෙන් පසු, පූර්ව දැනුම් දීමකින් තොරව අනෙකුත් සියලු සෞඛ්‍ය සේවකයින් සමඟ එක්ව දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ග වලට එළඹීමටද එහිදි ඒකමතිකව තීරණය කරන ලදී.

විශේෂයෙන් දේශපාලනඥයින්ගේ සුඛ විහරණය උදෙසා සිදුකරනු ලබන ව්‍යාපෘති සඳහා අරමුදල් වැය කිරීමට ලබාදෙන ප්‍රමුඛතාවය ජනතාවගේ ජීවත් වීමේ අයිතිය රැකගන්නා සෞඛ්‍ය සේවාව වෙනුවෙන් හිමිනොවීම පිළිබඳව සාමාජිකයන්ගේ දැඩි අප්‍රසාදය ප්‍රකාශ කරන ලදී.

සෞඛ්‍ය විෂය සඳහා අමාත්‍යවරයෙකු තවම පත් කර නොමැති අවස්ථාවකදී මෙම ගැටලුව සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා ගරු අග්‍රමාත්‍යතුමන්, අග්‍රාමාත්‍ය ලේකම්තුමන්, මුදල් අමාත්‍යංශ ලේකම්තුමන් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමන්ගෙන් කඩිනම් සාකච්ඡා ඉල්ලා සිටීමටත්, එහිදි මේ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් මැයි මස 25 වෙනිදායින් පසු ඕනෑම මොහොතකදී විධායක සභාව විසින් තීරණය කරනු ලබන ඕනෑම ආකාරයේ දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමටත් ඒකමතිකව තීරණය කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *