Friday, 6 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

සූර්ය බල පාරිභෝගිකයින්ට අන්තර්ජාලයෙන් අලුත් සේවාවක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

නිවාස හෝ ව්‍යාපාරික ස්ථානවල වහල මත සූර්ය බලශක්ති පද්ධති (Rooftop Solar) ස්ථාපිත කිරීම සඳහා අයදුම්පතක් යොමුකිරීමට පෙර, අදාළ ප්‍රදේශයේ ට්‍රාන්ස්ෆෝමරයේ ඒ සඳහා ප්‍රමාණවත් විදුලි ධාරිතාවක් පවතීද යන්න පාරිභෝගිකයින්ටම අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කරගත හැකි නව මාර්ගගත පහසුකමක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

මීට පෙර සූර්ය පැනල සවිකිරීමට අපේක්ෂා කරන පාරිභෝගිකයින්ට තම නිවස ආසන්නයේ පිහිටි ට්‍රාන්ස්ෆෝමරයේ ඒ සඳහා ඉඩකඩ පවතීද යන්න දැනගැනීමට හැකිවූයේ විධිමත් අයදුම්පතක් යොමුකිරීමෙන් අනතුරුව පමණක් වූ බැවින්, අයදුම්කරුවෝ දැඩි අපහසුතාවන්ට මුහුණ දුන්හ.

බලශක්ති අමාත්‍යාංශයේ උපදෙස් මත, ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) අනුප්‍රාප්තික සමාගමක් වන ‘ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා පුද්ගලික සමාගම’ (Electricity Distribution Lanka Pvt Ltd) විසින් මෙම ගැටලුවට විසඳුමක් ලෙස මෙම නව මාර්ගගත සේවාව හඳුන්වා දී ඇත.

ට්‍රාන්ස්ෆෝමර් ධාරිතාව පරීක්ෂා කරගන්නේ කෙසේද?

පාරිභෝගිකයින්ට පහත සඳහන් නිල සබැඳිය (Link) ඔස්සේ පිවිස ඉතා පහසුවෙන් තමන්ට ආසන්නතම ට්‍රාන්ස්ෆෝමරයේ පවතින ඉතිරි සූර්ය බලශක්ති ධාරිතාව පරීක්ෂා කරගත හැකිය:

🔗 පරීක්ෂා කිරීමේ නිල සබැඳිය:

https://edlcare.edl.lk/incognito/solar-pv-substation-status

මෙම සේවාව දැනට ලබාගත හැක්කේ මීටර් සවිකර ඇති ට්‍රාන්ස්ෆෝමර් සඳහා පමණක් වන අතර, සෙසු ට්‍රාන්ස්ෆෝමර් සඳහාද කඩිනමින් මීටර් සවිකිරීමේ විශේෂ ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

ඔබේ අදහස