සමාජ මාධ්‍ය අඩන්තේට්ටම් සැකකරු අත්අඩංගුවට ගැනීම තාවකාලිකව නවතී

ෆේස්බුක් (Facebook) සහ වට්ස්ඇප් (WhatsApp) සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ලිංගික අඩන්තේට්ටම් සිදුකළ බව කියන සිද්ධියකට අදාළව 47 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය පතමින් මීට පෙර නිකුත් කරන ලද නිවේදනය පළකිරීම සහ විකාශය කිරීම වහාම නතර කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය සියලුම මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියි.
අදාළ සැකකරු විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර ඇති බවට දැනුම් දීමෙන් අනතුරුව, පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් මෙම විශේෂ නිවේදනය නිකුත් කර තිබේ.
පොලිසිය සඳහන් කරන්නේ, නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් අදාළ සැකකරුව අත්අඩංගුවට නොගන්නා ලෙසට අභියාචනාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇති බවයි.
අභියාචනාධිකරණ නියෝගය සහ මාධ්‍යයෙන් කළ ඉල්ලීම
සම්මන්තුරේ පොලිසිය මඟින් විමර්ශනය කරන ලද මෙම සිද්ධියට අදාළව, සැකකරු පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා මීට පෙර පොලිසිය විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබිණි. කෙසේවෙතත්, අභියාචනාධිකරණය හමුවේ පවතින නඩු කටයුතු පිළිබඳව අම්පාර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් පොලිස් මූලස්ථානය වෙත කරුණු වාර්තා කර ඇත.
අධිකරණ නියෝගයට ගරු කරමින්, අදාළ සැකකරු සෙවීම සඳහා මීට පෙර නිකුත් කළ දැන්වීම හෝ ප්‍රවෘත්තිය මින් ඉදිරියට පළකිරීමෙන්, විකාශය කිරීමෙන් හෝ සමාජ මාධ්‍ය ජාලවල බෙදාහැරීමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙස පොලිසිය සියලුම පුවත්පත්, රූපවාහිනී, ගුවන්විදුලි සහ වෙබ් මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියි.
එමෙන්ම, මීට පෙර නිකුත් කළ නිවේදනයට ලබාදුන් ප්‍රමුඛතාවම මෙම නව නිවේදනය සහ පැහැදිලි කිරීම සඳහාද ලබාදෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් මාධ්‍ය ආයතනවලින් ඉල්ලා ඇත. ඒ අනුව මෙම නව නිවේදනය මඟින් මීට පෙර සිදුකළ මහජන සහය පැතීමේ නිවේදනය සම්පූර්ණයෙන්ම අවලංගු කෙරේ.




