දඬුවම් නියම වූ පුද්ගලයන් හුවමාරු කර ගැනීම සහ අන්‍යෝන්‍ය නීතිමය සහාය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර යෝජිත ද්විපාර්ශ්වික ගිවිසුම් කඩිනමින් අවසන් කිරීම පිළිබඳ සාකච්ඡා පවත්වා තිබේ.
සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් මහතා, සෞදි අධිකරණ අමාත්‍යාංශයේ නීති සහ ජාත්‍යන්තර සහයෝගිතා කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මිෂාල් බින් අලි අල්-බලාවි මහතා හමුවී මෙම කරුණු පිළිබඳව සාකච්ඡා කර තිබේ.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ දෙරට අතර අධිකරණ හා නීතිමය සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බවයි.
විශේෂයෙන්ම දඬුවම් නියම වූ පුද්ගලයන් හුවමාරු කර ගැනීම සහ අන්‍යෝන්‍ය නීතිමය සහාය සම්බන්ධයෙන් යෝජිත ගිවිසුම් දෙක අවසන් කිරීම කඩිනම් කිරීම පිළිබඳව දෙපාර්ශ්වය සාකච්ඡා කර තිබේ.
අධිකරණ කටයුතු සම්බන්ධයෙන් සහයෝගිතාව ඉදිරියට ගෙන යාම සඳහා පවතින කැපවීමද දෙපාර්ශ්වය යළි තහවුරු කර ඇති අතර, දෙරටට අදාළ අනෙකුත් කරුණු සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු කරගෙන ඇත.
මෙම හමුවට සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් සහ ප්‍රධාන කාර්යාල නිලධාරිනී දමිත්‍රි සමන්ගිකා මහත්මිය සහ තානාපති කාර්යාල නිලධාරී සජීත් මහතාද සහභාගි වී තිබේ.
මෙම හමුව සම්බන්ධයෙන් සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2026 සැප්තැම්බර් 19 වනදා නිවේදනයක් නිකුත් කර තිබේ.


