ලොව වේගයෙන්ම දියුණුවන සංචාරක ආර්ථිකයන් 10 අතරට ශ්‍රී ලංකාව

ලෝක ආර්ථික සංසදයේ 2026 සංචාරක හා සංචරණ සංවර්ධන දර්ශකය (Travel & Tourism Development Index – TTDI) අනුව ලොව වේගයෙන්ම දියුණුවන සංචාරක හා සංචරණ ආර්ථිකයන් 10 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වී තිබේ.

2024 සහ 2026 අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ TTDI ලකුණු 4.3%කින් ඉහළ ගොස් ඇති අතර, එම කාලය තුළ වැඩිම වර්ධනයක් වාර්තා කළ ආර්ථිකයන් අතර ශ්‍රී ලංකාව 10 වැනි ස්ථානයට පත්ව ඇත.

එම ලැයිස්තුවේ පළමු ස්ථානය ඇල්බේනියාවට හිමිව ඇති අතර, එහි TTDI ලකුණු 7%කින් ඉහළ ගොස් තිබේ. වියට්නාමය 6.3%කින්, ලාඕසය 6.1%කින්, කටාර් රාජ්‍යය 6%කින්, මැලේසියාව 5.8%කින්, තායිලන්තය 5.6%කින්, පිලිපීනය සහ මොරොක්කෝව 5.5% බැගින්, නේපාලය 5.1%කින් සහ ශ්‍රී ලංකාව 4.3%කින් ඉහළ ගොස් තිබේ.

ලෝක ආර්ථික සංසදය පෙන්වා දෙන්නේ ආසියා පැසිෆික් කලාපය සහ මැද පෙරදිග හා උතුරු අප්‍රිකා කලාපය ඇතුළු නැගී එන සංචාරක වෙළෙඳපොළ, ස්ථාපිත සංචාරක ගමනාන්ත රැසකට වඩා වේගයෙන් සිය සංචාරක තරඟකාරීත්වය වර්ධනය කරමින් සිටින බවයි. ආසියා පැසිෆික් කලාපය 2024 සහ 2026 අතර සාමාන්‍ය TTDI ලකුණු 3.6%කින් ඉහළ නංවා ඇති අතර, වේගයෙන්ම දියුණුවන ආර්ථිකයන් 10 අතරින් හතක් එම කලාපයට අයත් වේ.

2026 දර්ශකයට ඇතුළත් කර ඇති ආර්ථිකයන් 110 අතරින් 101ක් හෙවත් 92%ක් 2024ට සාපේක්ෂව සිය TTDI ලකුණු වැඩි කරගෙන තිබේ. එම කාලය තුළ ගෝලීය සාමාන්‍ය TTDI ලකුණ 2.1%කින් ඉහළ ගොස් ඇති බව ලෝක ආර්ථික සංසදය සඳහන් කරයි.

සංචාරක යටිතල පහසුකම්, ගුවන් සම්බන්ධතා, සංස්කෘතික හා ස්වභාවික සම්පත්, සංචාරක හා සංචරණ ක්ෂේත්‍රය සඳහා පවතින පහසුකම් සහ ප්‍රතිපත්ති මෙන්ම තිරසරභාවය ඇතුළු කුළුණු 17ක් ඔස්සේ රටවල් සහ ආර්ථිකයන් මෙම දර්ශකය මගින් ඇගයීමට ලක් කරයි. කෙසේ වෙතත්, TTDI මගින් සංචාරක පැමිණීම් හෝ සංචාරක ආදායම සෘජුව මනිනු නොලබන අතර, තිරසර හා ඔරොත්තු දෙන සංචාරක ක්ෂේත්‍රයක් වර්ධනය කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සහ පරිසරය ඇගයීමට ලක් කරයි.

2026 TTDI දර්ශකයේ ලොව ඉහළම සංචාරක හා සංචරණ ආර්ථිකය ලෙස ජපානය පළමු ස්ථානයට පත්ව ඇති අතර, එක්සත් ජනපදය, ස්පාඤ්ඤය, ඔස්ට්‍රේලියාව සහ ප්‍රංශය පිළිවෙළින් ඊළඟ ස්ථානවලට පත්ව තිබේ.

මේ අතර, ගෝලීය සංචාරක ක්ෂේත්‍රය කොවිඩ්-19 වසංගතයෙන් පසු අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින අතර, 2025 වසරේදී ජාත්‍යන්තර සංචාරක පැමිණීම් වාර්තාගත බිලියන 1.5ක් දක්වා ඉහළ ගොස් ඇති බව ලෝක ආර්ථික සංසදය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *