විදේශ තානාපතිවරු නැගෙනහිර පළාතේ සංචාරයක: සංචාරක හා ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය අරමුණයි

කොළඹ පිහිටි විදේශ තානාපති කාර්යාලවල ප්‍රධානීන් සඳහා සංවිධාන කළ නැගෙනහිර පළාතේ තෙදින සංචාරක සංවර්ධන අධ්‍යයන චාරිකාවක්  ආරම්භ විය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් සංවිධාන කළ මෙම සංචාරයට එක්වූ තානාපතිවරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නියෝජිත පිරිස පෙරවරුවේ කොළඹ හිල්ටන් හෝටලයෙන් පිටත්ව පසිකුඩා අනන්තායා රිසෝට් ඇන්ඩ් ස්පා වෙත පැමිණියහ.

පසිකුඩා වෙරළ තීරයේ කාලය ගත කිරීමෙන් අනතුරුව පස්වරුවේ කුඩා හා මධ්‍ය පරිමාණ හස්ත කර්මාන්ත නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනයක් නැරඹීමටද නියෝජිත පිරිසට අවස්ථාව සලසා තිබිණි.

නැගෙනහිර පළාතේ සුවිශේෂී සංස්කෘතික, සමාජීය සහ ආර්ථික වටිනාකම්, පොහොසත් උරුමය මෙන්ම සංචාරක කර්මාන්තය සඳහා පවතින හැකියාවන් ජාත්‍යන්තර ප්‍රජාව වෙත හඳුන්වාදීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වේ.

ඊයේ (19) දිනයේදී නියෝජිත පිරිස එරාවුර් අපනයන සැකසුම් කලාපය, සේරුවිල බෞද්ධ විහාරස්ථානය සහ ත්‍රිකුණාමලයේ කෝණේශ්වරම් හින්දු කෝවිල නැරඹීමට නියමිතය.

තෙදින සංචාරය අවසන් කරමින් රාජ්‍යතාන්ත්‍රික නියෝජිත පිරිස ඉරිදා (20) යළි කොළඹ බලා පැමිණීමට නියමිතව තිබේ.

සංචාරය අතරතුර නැගෙනහිර පළාතේ දේශපාලන නායකයන්, මහජන නියෝජිතයන් සහ රජයේ නිලධාරීන් හමුවී අනාගත ආයෝජන සහ කලාපීය සංවර්ධන අවස්ථා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද නියමිතය.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ මෙම වැඩසටහන මගින් නැගෙනහිර පළාතේ ආයෝජන සහ සංචාරක හැකියාවන් ජාත්‍යන්තර මට්ටමින් ප්‍රවර්ධනය කිරීමටත්, ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීමටත්, දිගුකාලීන තිරසර සංචාරක සංවර්ධනයට දායක වීමටත් හැකි වනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *