නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අදයි, නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනපති විසින් එළිදක්වයි

මහමැතිවරණයෙන් අනතුරුව රැස්වෙන නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද (19) දිනයේ පැවැත්වේ. නව රජයේ නව වැනි මංගල පාර්ලිමේන්තු සැසිවාරය පෙ.ව. 09.30ට ආරම්භ වීමට නියමිත වන අතර ඒ සදහා මේ වන විට සියලු කටයුතු සූදානම්ව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව අද උදේ 09.30 ට පාර්ලිමේන්තුව කැදවීම සිදුවන අතර කතානායක, නියෝජ්‍ය කතානායක ආදී පාර්ලිමේන්තුවේ පවතින තතුරු සඳහා තෝරා පත් කරගැනීම සිදු කිරීමට නියමිතයි. කතානායකවරයා පත් කරගැනීමෙන් අනතුරුව, සියලුම මන්ත්‍රීවරුන්ගේ නිල දිවුරුම සහ ප්‍රතිඥාව සිදුකර ඉන්පසු ඔවුන් විසින් පාර්ලිමේන්තු ලේඛණයේ අත්සන් තැබීමද සිදුකෙරෙන අතර ඉන්පසු පාර්ලිමේන්තුවේ කටයුතු පස්වරු 03 තෙක් අත් හිටුවීමට කටයුතු කෙරේ.

ප.ව 3.00ට එලඹෙන්නේ, පළමු මංගල රැස්වීම උත්සවාකාරයෙන් ආරම්භ වීමය. මෙවර විශේෂත්වය වන්නේ සම්ප්‍රදාය අනුව මීට පෙර රාජ්‍ය නායකයින් වෙත සිදු කළ ආචාර වෙඩිමුර, හමුදා උත්තමාචාර ආදිය නොපැවැත්වීමයි. කෙසේ වෙතත් අභිමානවත්ව සංස්කෘතික වටිනාකම්වලට මුල්තැන දෙමින් පාර්ලිමේන්තු පිවිසුම් දොරටුව අසළ දී ජයමංගල ගාථා ගයමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමෙන් අනතුරුව අභිනව කතානායකවරයා විසින් ජනාධිපතිවරයා සභාගැබට කැඳවාගෙන යාමට නියමිතයි. ඉන් අනතුරුව ජනාධිපතිතුමන් විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරීම ආරම්භ වේ.

කෝවිඩ් මාර්ගෝපදේශ අනූව සභාගර්භය තුළ සියලුදෙනා හැසිරීම අනිවාර්ය වන අතර, මුඛ ආවරණ පැළදීම, මීටරයේ දුර පවත්වා ගැනීම සිදුකළ යුතු අතර සියලුදෙනා සෞඛ්‍ය උපදේශ අනූව සෞඛ්‍යාරක්ෂිත ලෙස කටයුතු කිරීමට වගබලාගත යුතු අතර කණ්ඩායම් සාකච්ඡා කිසි ලෙසකින් හෝ නොපැවැත්විම වැනි නීති මාලාවන්ද ඊට ඇතුලත්ය. මෙවර පාර්ලිමේන්තුවට අමුත්තන් කැඳවීම ද සීමා කර ඇති අතර කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවලට මුල්තැන දෙමින් සියලු කටයුතු සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *