‘ඩුබායි සුද්දා’ගේ අපරාධ සඳහා යතුරුපැදි සැපයූ දෙදෙනෙක් දැලේ

විදේශගතව සැඟව සිට මෙරට අපරාධ මෙහෙයවන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන “ඩුබායි සුද්දා ගේ අපරාධ සඳහා යතුරුපැදි සොරාගෙන මුදලට සැපයූ පුද්ගලයන් දෙදෙනෙකු හෝමාගම පිටිපන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා 24, 26 වියෙහි පසු වන හෝමාගම, මායා මාවත ප්‍රදේශයේ සහ හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සිදු කළ විශේෂ විමර්ශනවලදී අනාවරණය කර ගැනීමට හැකි වූ බවද පොලීසිය පවසයි.සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබූ මත්කුඩු ග්‍රෑම් 20 මිලිගෑම් 600ක ප්‍රමාණයක් හා යතුරුපැදි අංක තහඩු දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.

මීට මාස කීපයකට ඉහතදී හෝමාගම, පිටිපන,ඉස්කෝලේ හන්දිය ආසන්නයේ නවතා තිබූ යතුරුපැදියක් අස්ථානගත වී ඇති බවට ලද පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් සී.සී.ටිවි කැමරා දර්ශන ඔස්සේ විමර්ශන කටයුතු සිදුකරමින් සිටි හෝමාගම පොලීසියේ අපරාධ අංශයේ නිලධාරින්  හට මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ලද හෝඩුවාවක් මත හෝමාගම නගරයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කරයි.ඔවුන් දෙදෙනා පොලිස් ස්ථානය රැගෙන විත් සිදුකළ විමර්ශනවලදී පාතාල කල්ලි නායකයින් කිහිපදෙනෙකු සමග ඇති සබඳතා පිළිබඳ අනාවරණය කර ගැනීමට හැකිවූ බවද පොලීසිය පවසයි.

අනතුරුව සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් හෝමාගම අධිකරණයෙන් ලබාගත් රඳවා ගැනීමේ නියෝග මත සිදු කළ වැඩිදුර විමර්ශනයේදී ඉකුත් ජනවාරි (23දා) මල්වතුහිරිපිටිය  ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට වෙඩි තබා ඝාතනය කර පලා ගිය සිද්ධියට සම්බන්ධ අත්අඩංගුවට පත්ව දැනට බන්ධනාගාරගතව සිටින “චීසා” නැමති පාතාල කල්ලි සාමාජිකයා බැහැදැකීමට මින් එක් සැකකරුවෙකු බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී ඔහු විසින් ලබාගත් දුරකථන අංකයකට දින කීපයකට පසු ලැබුණු වට්සැප්  දුරකථන ඇමතුමක් මගින් හඳුනාගත් ඩුබායි සුද්දා නමැති පාතාල කල්ලි නායකයා සමග එක්ව අපරාධ ක්‍රියාකාරකම් සිදුකිරීමට යතුරුපැදි සොරකම් කිරීමට  සම්බන්ධ වී කටයුතු කළ බව සැකකරුවන් පාපෝච්චාරණය කළ බවද පොලීසිය පැවසීය.

එක් යතුරුපැදියක් ලබාදීම වෙනුවෙන් රුපියල් 50,000කට ලබා දුන් බව ප්‍රශ්න කිරීමේදී සැකකරුවන් අනාවරණය කර ඇත.මෙවැනි ආකාරයෙන් අපරාධ සඳහා යොදා ගැනීමට යතුරුපැදි කිහිපයක් සොරකම් කර ඇති බවත් පිටිපන ප්‍රදේශයේ සොරකම් කරන ලද යතුරුපැදියේ අංක තහඩු දෙක හබරකඩ ප්‍රදේශයේ ඉඩමක් අසල තිබූ කෙසෙල් පඳුරක් අස්සේ සඟවා තිබීයදි සැකකරුවන්ගේ ප්‍රකාශ මත සොයා ගත් බවත් පොලිසිය සඳහන් කරයි.

මේ අයුරින් ඩුබායි සුද්දාගේ උපදෙස් මත යතුරුපැදි කිහිපයක් සොරා ගත් බවත් ඒවා හබරකඩ පාළු ඉඩමක නතර කිරීමෙන් අනතුරුව කුමන කාර්යයක් සඳහා කවුරුන් විසින් රැගෙන ගියා දැයි කීමට තමන් නොදන්නා බවක් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.සැකකරුවන් දෙදෙනාගේ දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතය. හෝමාගම මූලස්ථාන පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *