ඔළු ගෙඩි වැඩි කර ගැනීමට පක්ෂයට ඕනෑම පල් හොරෙක් බඳවා නොගත යුතුයි – ෆොන්සේකා

ඉදිරි මැතිවරණයකදී බුද්ධිමත්ව තම ඡන්දය භාවිත කරන ලෙසත් මේ රට විනාශ කළ දැක්මක් නැති දේශපාලකයන්ට නොරැවටී දේශපාලකයන්ගේ අතීත පැටිකිරිය පිළිබඳව සොයා බලා, මනා කල්පනාවකින් යුතුව තම ඡන්දය භාවිත කරන ලෙස හිටපු යුද හමුදාපති

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.හිටපු යුද හමුදාපතිවරයා ඒ බව අවධාරණය කර සිටියේ, නිරායුධ නිර්පාක්ෂික අරගලයෙන් ජනතා විප්ලවයක් කරා’ යන තේමාව නිර්පාක්ෂික සංවිධානය විසින් මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය ඉදිරිපිටදී  සංවිධානය කොට තිබූ උද්ඝෝෂණ ව්‍යාපාරයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

රටේ ඇති දූෂිත දේශපාලන සංස්කෘතිය සහ කිසිදු දැක්මක් නොමැති දේශපාලන ක්‍රියා පිළිවෙත පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් අනාගතයේදී බුද්ධිමත්ව දේශපාලකයන්ට නොරැවටී රටේ අනාගතය භාර දිය හැකි ඉදිරි දැක්මක් ඇති පුද්ගලයන්ට තම ඡන්දය භාවිත කරන ලෙසත් ෆොන්සේකා මහතා එහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.අනාගත පරම්පරාවට රටක් ගොඩනැගීමට නම් දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටී ඉදිරි දැක්මක් ඇති, අර්බුද තේරුම් ගත හැකි රට ගැන හැඟීමක් ඇති ජනතාවගේ හද ගැස්ම තේරුම් ගත හැකි පාලකයන් පත්කර ගත යුතුව තිබෙන බවද පැවසීය.රටට පාර්ලිමේන්තුවක් සහ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිය යුතු වුවත් දේශපාලකයන් ප්‍රතිපත්තියක සිට වැඩ කළ යුතු බවත් තමන්ට ඔළු ගෙඩි එකතු කර ගැනීමට ඕන කුණු ජරාවක් එකතු කරගෙන දේශපාලනය කිරීමට ගියහොත් රට නැවතත් අමාරුවක වැටෙන බවද ෆොන්සේකා මහතා අවධාරණය කළේය .

රටේ ජනතාව අරගලයක් කොට වෙනසක් ඉල්ලූ බව පැවසූ ෆොන්සේකා මහතා, එහෙත් මේ වන විට බහුතර ජනතාවට තමන්ගේ ඉදිරි ඡන්දය භාවිත කළ යුත්තේ කාටද යන්න සිතා ගැනීමට නොහැකි තත්ත්වයක සිටින බවද පැවසීය.තම පක්ෂයේ ඔළු ගෙඩි වැඩි කර ගැනීමට ඕනෑම පල් හොරෙක් පක්ෂයට බඳවා නොගත යුතු බවත් තම  පක්ෂයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට පෙර තමන් උසාවි ගොස් ඊට එරෙහිව නීතිමය රැකවරණයක් ලබා ගත් බවද ෆොන්සේකා මහතා අවධාරණය කළේය.රටේ පවතින දේශපාලන වාතාවරණය අනුව ඉදිරි මැතිවරණයකදී කිසිවෙකුටත් තනිව රජයක් පිහිටුවීමේ හැකියාවක් පෙනෙන්නට නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *