අනුරපුරේ දරුවන්ගෙන් 28%ක් මන්දපෝෂණයෙන්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් යන දරුවන්ගෙන් 28%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට තොරතුරු වාර්තා වී ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දරුවන්ගේ පාසල් පැමිණීමද සැළකිය යුතු අන්දමින් අඩු වී ඇති බවය.

මෙරට පාසල් යන දරුවන්ගෙන් 16%ක් මන්ද පෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සඟරාවකින් හෙළිකර ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

එම සංගමය පෙන්වා දෙන්නේ ඉන් අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශයේ දරුවන් බහුතරයක් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බවය.

ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ මේ වනවිට ආර්ථික ගැටලු හමුවේ පවුල්වල ආදායම් මාර්ගත් බිඳ වැටීමය.

මේ ප්‍රදේශවල ප්‍රධානතම ජීවනෝපාය වන්නේ ගොවිතැන් කටයුතු වන නමුත් එයද අසාර්ථක වීම නිසා ඔවුන් දැඩි අපහසුතාවයකට පත්ව සිටියි.

මේ සම්බන්ධයෙනක් අද දෙරණ කළ සොයා බැලිමකදී ප්‍රදේශයේ මව්පියන් පවසන්නේ මන්දපෝෂණය වැළඳුණු දරුවන් වෛද්‍ය උපදෙස් මත සායන සඳහා යොමුකර ඇති අතර එම සායනවල වෛද්‍ය නිර්දේශය අනුව එම දරුවන්ට නිසි පෝෂණ ආහාර වේලක් ලබාදීමට උපදෙස් ලබා දී ඇති බවය.

ගුරු සංගම් පෙන්වා දෙන්නේ මෙම මන්ද පෝෂණ තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල දරුවන්ගේ ක්‍රියාශීලී තත්ත්වයද හීන වෙමින් ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *