ඇතා මරා දළ කපාගත් සිවිල් ආරක්ෂක භටයා 19 දක්වා රිමාන්ඩ්

අනුරාධපුර, කහටගස්දිගිලිය ප්‍රදේශයේදී අභිරහස් ලෙස මියගිය වනගත දළ ඇතෙකුගේ දළයක් කපා ඉවත් කර සොරකම් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් හිටපු සිවිල් ආරක්ෂක බලකා (CSD) සාමාජිකයෙකු එළඹෙන නොවැම්බර් 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (05) නියෝග කළේය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අත්අඩංගුවට ගත් සැකකරු සහ විමර්ශනවලදී සොයාගත් නඩු භාණ්ඩ රැසක් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් වූ බවයි.
කහටගස්දිගිලිය, කයන්ගොල්ලෑව ප්‍රදේශයේ දළ ඇතෙකු මියගොස් සිටියදී හමුවීමේ සිදුවීම සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් විසින් පසුගිය බදාදා (04) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරු කොටුකර ගැනීමට හැකිවිය.
දළය කැපූ කියත සහ පෙට්‍රල් බෝම්බ හමුවෙයි
සැකකරුට අයත් වගා බිමක පිහිටි පැලක් පරීක්ෂා කිරීමේදී, ඇතාගේ දළය කැපීම සඳහා භාවිත කළ බවට සැකකෙරෙන අත් කියතක් (Hacksaw) සහ ඇතා මියගොස් සිටි ස්ථානයෙන් කපාගෙන ආ බවට සැකකෙරෙන ශාක කොටස් සොයාගැනීමට වනජීවී නිලධාරීහු සමත් වූහ.
අනතුරුව සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී පෙට්‍රල් බෝතල් දෙකක් සහ අලි වෙඩි යොදා සකස් කරන ලද පුපුරන ද්‍රව්‍යයක් (Explosive device) හමුවූ අතර, නිවසේ වත්ත තුළ සඟවා තිබූ අනතුරුදායක බඳින තුවක්කුවක්ද නිලධාරීන් භාරයට ගෙන ඇත.
මියගිය ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව, සිරුරේ ඉතිරිව තිබූ දකුණු දළය සහ වම් දළයේ ඉතිරි කොටස වනජීවී නිලධාරීන් විසින් සිය භාරයට ගනු ලැබීය.
කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු නොවැම්බර් 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.




