ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න පාර්ලිමේන්තුව වහාම කැඳවන්න – සජිත්

පවතින ආර්ථික අර්බූදයෙන් ගොඩ ඒම සඳහා වහාම පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (20) මාධ්‍ය හමුවක් කැඳවමින් රජයෙන් ඉල්ලා සිටියේය.

ප්‍රේමදාස මහතා එහිදී පෙන්වා දුන්නේ, රටේ ජනතාවගේ දෛනික ආර්ථික තත්ත්වය දිනෙන් දින ඉතා නරක අතට හැරෙමින් පවතින බවත්, එය පාලනය කරමින් අවශ්‍ය සහන සැලසීමට නම් පාර්ලිමේන්තුව යළි කැඳවීම තීරණාත්මක බවයි.

එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරන්නේ, කොරෝනා අර්බුදය හේතුවෙන් බිඳ වැටුණු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාරවලට සහනයක් වීම සඳහා රජය විසින් සහතික වූ පොරොන්දු මේ වනවිට කඩදාසි කැබලිවලට පමණක් සීමා වී ඇති බවයි. දිනෙන් දින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අඩපණ වෙමින් ඇති බවට නිරීක්ෂණය වන බවත් ජනතාවගේ දෛනික ආදායම් තත්ත්වය මූලිික අවශ්‍යතා හෝ ඉටු කර ගැනීමට ප්‍රමාණවත් නොවන තත්ත්වයකට පත්ව ඇති බව ඔහු එහිදී කියා සිටියේ ය.

ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් හා කඩිනමින් සහන සැලසීම සඳහා රජය සමග සහයෝගයෙන් ක්‍රියා කිරීමට සූදානම් බවත් යළි පාර්ලිමේන්තුව කැඳවීමේදී ජනාධිපතිවරයාට එරෙහි දෝශාභියෝගයක් හෝ රජයට එරෙහි විශ්වාස භංගයක් ගෙන ඒමට තමන් හෝ තම පක්ෂයේ කිසිම සූදානමක් නොමැති බව ද සජිත් ප්‍රේමදාස මහතා එහිදී සහතික වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *