අයහපත් කාලගුණය නිසා සිදු වූ ආපදා සහ අනතුරු නිවේදන දමා ඇති ප්‍රදේශ

මේ වනවිට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කෑගල්ල, රංවල ඔය පිටාර ගැලීමෙන් නිවාස 20ක් සහ මාර්ග රැසක් ජලයෙන් යටවී තිබේ.

එමෙන්ම කෑගල්ල – කොළඹ විකල්ප මාර්ගයට කෑගල්ල රෝහල අසලින් විශාල ගලක් පෙරළීමෙන් ගමනාගමනයට බාධා එල්ල වුණි.

මේ හේතුවෙන් ප්‍රදේශයේ විදුලිය හා දුරකථන සබඳතා ද බිඳ වැටී ඇති බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

හංවැල්ල, පහත්ගම ගොඩපරගොඩැල්ල බෞද්ධ මධ්‍යස්ථානයේ මාර්ගය ද අධික වර්ෂාවත් සමග ජලයෙන් යටවීම හේතුවෙන් එහි වැඩසිටින භික්ෂූන් වහන්සේලාට ඔරුවකින් දානය සඳහා වැඩම කිරීමට සිදුවිය.

එමෙන්ම ජල ගැලීම් හේතුවෙන් සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 220ක් ජලයෙන් යටවී තිබේ.

පීඩාවට පත්වූ පුද්ගලයින් 1,059 දෙනෙකු අවතැන් කඳවුරු වෙත යොමු කර ඇත.

ඇහැලියගොඩ, ගැටහැත්ත හරහා බෝපේ මාර්ගය මඩකඩ ප්‍රදේශයෙන් ගිලා බැසීම නිසා මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ.

ජල ගැලීම් හේතුවෙන් බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 5,000ක පමණ පිරිසක් මේ වනවිට අවතැන් වී සිටී.

එමෙන්ම බියගම උතුර බොරළුවල BOI පස් කන්ද කඩා වැටීමෙන් නිවාස 5ක හානි සිදුව තිබුණි.

ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කොත්මලේ සහ ලක්ෂපාන ජලාශවල එක් වාන් දොරටුව බැගින් විවෘත කර ඇති අතර, විමලසුරේන්ද්‍ර ජලශයද වාන් දමමින් පවතී.

ජල පෝෂක ප්‍රදේශවලට අධික වැසි ඇද හැලීමත් සමග කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජලවිදුලි බලාගාරවල විදුලි උත්පාදනය ද උපරිම ධාරිතාවයෙන් සිදුකෙරෙන බව විදුලිබල මණ්ඩලය පවසයි.

මේ අතර දිස්ත්‍රික්ක 09ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, කොළඹ, ගාල්ල, කලුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙලෙස නායයෑහ් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළ බවය.

ඒ අනුව,

කලුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, පාලින්ඳනුවර, බුලත්සිංහල, අගලවත්ත, වලල්ලාවිට, හොරණ, සහ මතුගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස.

රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන සහ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස.

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය.

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව, මැවනැල්ල, කෑගල්ල, යටියන්තොට, රුවන්වැල්ල, දැරණියගල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, රඹුක්කන, අරනායක සහ වරකාපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය.

රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යන ප්‍රදේශ ආවදානම් කලාප ලෙස නම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *