Friday, 6 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

‘හරක් කටා’ගේ කෝටි 12 අල්ලස් නඩුව: විජයදාසගේ පුතුගේ වත්කම්වලට මහාධිකරණ තහනමක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිණුම් හතරක් (04) සහ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් (02) මාස තුනක කාලයක් සඳහා අත්හිටුවීමට (Freeze කිරීමට) කොළඹ මහාධිකරණය ඊයේ (05) නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් මීට පෙර අත්හිටුවන ලද වත්කම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

‘අපරාධවලින් උපයාගත් දේපළ පිළිබඳ පනත’ යටතේ සිදුකෙරෙන විමර්ශනයකට අදාළව, රුපියල් මිලියන 40කට (රුපියල් කෝටි 4කට) ආසන්න මුදලක් සහිත බැංකු ගිණුම් හතරක් සහ සුඛෝපභෝගී වාහන දෙකක් අල්ලස් කොමිසම මඟින් මීට පෙර තහනම් කර තිබිණි.

‘හරක් කටා’ගේ බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය

මෙම විමර්ශනයට පාදක වී ඇත්තේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ නමැත්තාගේ බිරිඳගෙන් රුපියල් මිලියන 120ක (රුපියල් කෝටි 12ක) දැවැන්ත අල්ලස් මුදලක් ලබාගත් බවට රඛිත රාජපක්ෂ, චරිත අබේසිංහ ඇතුළු සැකකරුවන්ට එරෙහිව එල්ල වී ඇති බරපතළ චෝදනාවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රැඳවුම් භාරයේ සිටි හරක් කටා නමැත්තාව ඉන් මුදාගෙන ආරක්ෂිත බන්ධනාගාරයක් වෙත මාරු කරදීමට පහසුකම් සලසා දීම වෙනුවෙන් මෙම අල්ලස් මුදල ලබාගත් බවට ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.

මෙම සිද්ධියට අදාළව අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් තිදෙනා, පසුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදාහරිනු ලැබීය.

කෙසේවෙතත්, අල්ලස් වශයෙන් ලබාගත් බව කියන රුපියල් මිලියන 120ක මුදල මෙතෙක් සොයාගැනීමට නොහැකි වී ඇති බැවින්, අපරාධවලින් උපයාගත් දේපළ පිළිබඳ පනත යටතේ ඔවුන් සතු වත්කම් පිළිබඳව අල්ලස් කොමිසම පුළුල් විමර්ශනයක් අඛණ්ඩව සිදුකරයි.

ඔබේ අදහස