Friday, 6 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

“හදවතින් ගත් තීරණයක්”: රොනාල්ඩෝගේ 23 වසරක පාපන්දු යුගය නිමාවෙයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ලෝක පාපන්දු ඉතිහාසයේ බිහිවූ අසමසම සුපිරි ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (Cristiano Ronaldo), පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායමෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව නිවේදනය කරමින් සිය ඓතිහාසික ජාත්‍යන්තර ක්‍රීඩා දිවියට සමුදීමට පියවර ගෙන තිබේ.

41 හැවිරිදි සුපිරි තරුව සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, එළඹෙන නොවැම්බර් ජාත්‍යන්තර තරග විවේකයෙන් පසුව තමන් පෘතුගාලයේ “අංක 07 දරන ජර්සිය නැවත භාරදෙන” බවයි.

2016 යුරෝ කුසලානය (Euro 2016) සිය මව්බිමට දිනාදෙමින් පෘතුගාලය ප්‍රථම ප්‍රධාන ජාත්‍යන්තර පාපන්දු ශූරතාව කරා මෙහෙයවූ නායකයා වූයේද රොනාල්ඩෝය. මීට අමතරව 2019 සහ 2025 වසරවල ‘නේෂන්ස් ලීග්’ (Nations League) ශූරතා දිනාගැනීමටද ඔහු ප්‍රමුඛ නායකත්වය ලබා දුන්නේය.

“මම ඔබව සතුටු කළා නම්, ඒ හැමදේම වටිනවා”

සිය සංවේදී නිවේදනය නිකුත් කරමින් රොනාල්ඩෝ මෙසේ සඳහන් කර තිබේ:

“මෙය කිසිසේත්ම පහසු තීරණයක් නෙවෙයි. මොකද ඇතැම් තීරණ ගන්නේ මොළයෙන් විතරක් නෙවෙයි; හදවතින්මයි. මම යම් දිනක ඔබව සතුටු කළා නම්, මගේ ගෝලයක් නිසා ඔබ ආදරයෙන් කෙනෙක් වැළඳගත්තා නම්, දුකක් අමතක කළා නම් හෝ අපේ රට ගැන ආඩම්බරයක් දැනුණා නම්, මගේ මේ කැපකිරීම් සියල්ලම වටිනවා.”

පෘතුගාල ජාතික කණ්ඩායම වෙනුවෙන් ගතකළ වසර 23ක දීර්ඝ හා වර්ණවත් ක්‍රීඩා දිවිය තුළ තමන් සමඟ රැඳී සිටි පවුලේ සාමාජිකයින්ට, පෘතුගාල ජනතාවට, සහෝදර ක්‍රීඩකයින්ට, පුහුණුකරුවන්ට සහ කාර්ය මණ්ඩලයට ඔහු සිය හෘදයාංගම ස්තූතිය පළ කළේය. “පෘතුගාලය හැමදාමත් මගේ හදවතේ කොටසක්” යනුවෙන්ද ඔහු සිය සමුගැනීමේ වීඩියෝ පටයේ සටහන් කර ඇත.

සදාතනික ලෝක වාර්තා රැසක්

පෘතුගාල ජාතික පිල වෙනුවෙන් තරග 234කට පෙනී සිට ඇති රොනාල්ඩෝ, එහිදී වාර්තාගත ගෝල 146ක් රැස්කර තිබේ. ඒ අනුව ජාත්‍යන්තර පාපන්දු ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවකට සහභාගී වූ ක්‍රීඩකයා මෙන්ම වැඩිම ජාත්‍යන්තර ගෝල සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයා ලෙස ලෝක වාර්තාව සතු වන්නේද ඔහුටය.

පසුගිය මාසයේ පැවති නේෂන්ස් ලීග් තරගයකදී ඔහුව ක්‍රීඩා පිටියට නොකැඳවීමට ජාතික පුහුණුකරු ජෝර්ජ් ජේසුස් (Jorge Jesus) ගත් තීරණයත් සමඟ දෙදෙනා අතර මතභේදාත්මක තත්ත්වයක් හටගත් අතර, රොනාල්ඩෝ වහාම කණ්ඩායම් පුහුණු කඳවුරෙන් පිටව ගොස් තිබිණි. මෙම සමුගැනීම ප්‍රකාශයට පත් වූයේ එකී සිදුවීම් මාලාවෙන් අනතුරුවය.

ඔබේ අදහස